
වවුනියාව – තෝනිකල් ප‍්‍රදේශයේ මීට දින 08 කට පෙර උපන්දින සාදයක් පැවති නිවසක් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමිවී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ වවුනියාව ප‍්‍රදේශයේම පදිංචි අවුරුදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන්නන් පිරිසක්.
ප‍්‍රධාන සැකකරු ප‍්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.
පසුගිය මස 24 වනදා අදාළ නිවසේ හිමිකරු වන සුගන්ධන් නැමැත්තාගේ පුත‍්‍රයාගේ උපන්දින සාදය පැවැත්වෙන අතරතුරදීයි මුහුණු ආවරණය කර පැමිණි පුද්ගලයන් 08 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් නිවසට ගිනි තැබීම සිදුකර තිබුණේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ප‍්‍රකාශ කර ඇත්තේ කොන්ත‍්‍රාත්තුව භාරදුන් ප‍්‍රධාන සැකකරු සමඟ ආරවුලක් පැවති පුද්ගලයෙකු එම නිවසේ සිටි බවයි.
ඔහුගේ අතක් කපා දමන ලෙසට ප‍්‍රධාන සැකකරු දැනුම් දුන් බවත්, ඒ සඳහා පැමිණියත් ඊට එහි සිටි පිරිස බාධා කිරීම නිසා සියලූදෙනා නිවස තුළට දමා ගිනි තබන ලෙසට ප‍්‍රධාන සැකකරු උපදෙස් දුන් බවත් ඔවුන් ප‍්‍රකාශ කර තිබෙනවා.
සිද්ධියෙන් සුගන්ධන්ගේ 23 හැවිරිදි බිරිඳ දැඩි පිළිස්සුම් තුවාල සහිතව ජීවිතක්ෂයට පත්වුණා.
එසේම රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටියදී නිවසේ හිමිකරු වන සුගන්ධන් ද ජීවිතක්ෂයට පත්වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් සිදුකරමින් සිටිනවා.