/
/
title icon
වැස්සේ අඩුවක් - ගාල්ලේ පාසලුත් හෙට සහ අනිද්දා වැසේ
වැස්සේ අඩුවක් - ගාල්ලේ පාසලුත් හෙට සහ අනිද්දා වැසේ
Editor
1 year ago
Share:
වැස්සේ අඩුවක් - ගාල්ලේ පාසලුත් හෙට සහ අනිද්දා වැසේ

වැස්සේ අඩුවක් - ගාල්ලේ පාසලුත් හෙට සහ අනිද්දා වැසේ

පවතින අධික වැසි සහිත තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 කට අයත් පවුල් 13,352 ක පුද්ගලයින් 54,440 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටයි.

පවතින ආපදා තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් ද හෙට සහ අනිද්දා දිනවල වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ සමඟ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට සහ අනිද්දා වසා තැබීමට ඊයේ රැස්වූ දිස්ත්‍රික් ආපදා කමිටුව තීරණය කළා.

එමෙන්ම නිල්වලා, ගිං, කලු ගඟ සහ අත්තනගලු ඔය සඳහා නිකුත් කර තිබූ ගං වතුර අවදානම් නිවේදනය හෙට උදෑසන 9 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ගං වතුරෙන් අවතැන් වූ ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් සංඛ්‍යාව 3,500 ක් වන අතර, ඉන් පුද්ගලයින් 8,000 ක් පීඩාවට පත්ව ඇති බවයි දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ කියා සිටියේ.

නිල්වලා ගං ද්‍රෝණියේ ගල්බැම්මෙන් ජලය පිටාර ගැලීම හේතුවෙන් අවට පහත්බිම්වල ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ගිං සහ කලු ගගේ ජල මට්ටම ද තවදුරටත් ඉහළ යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර කියා සිටියේ.

මේ අතර මාතර ග්‍රිඩ් උපපොළ අවට ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ ගියහොත් ආරක්ෂිත පියවරක් ලෙස එහි විදුලිය විසන්ධි කර, දෙනියාය සහ බෙලිඅත්ත ග්‍රිඩ් ඒකකයට සම්බන්ධ කරන බව විදුලිබල මණ්ඩලය දැනුම් දුන් බව අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා. ඒ සදහා නාවික හමුදාවේ සහයෝගය ලබාගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ගං වතුර තත්වය හේතුවෙන් ගාල්ල, මාතර සහ කලුතර දිස්ත්‍රික්කවල ආපදාවට පත් පුද්ගලයින් සඳහා සහන සැළසීමට නාවික හමුදාවේ කණ්ඩායම් 12 ක් යොමුකර ඇති බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය පවසනවා. ඔහු කියා සිටියේ පීඩාවට පත් පිරිස් සදහා ආහාර සැපයීමට ජංගම මුළුතැන්ගෙවල් දෙකක් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක බවයි.

මේ අතර ගං වතුර අවදානමට ලක්වූ ප්‍රදේශවල යුද හමුදා සහන සැළසීමේ කටයුතු නිරික්ෂණය කිරීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ඊයේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සංචාරයකට ගොස් තිබුණා.

මේ අතර ගාල්ල, මාතර සහ කලුතර දිස්ත්‍රික්කවලට පනවා ඇති නායයෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

අධික වර්ෂාවත් සමඟ බෙරගල - වැල්ලවාය ඒ 4 මාර්ගයේ නිකපොත ළමා නිවාසය අසල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. උදෑසන 8 ට පමණ පස් කන්ද මාර්ගය මතට කඩා වැටෙන අවස්ථාවේ දී එම ස්ථානයෙන් ගමන් කළ යතුරුපැදිකරුවන් කිහිපදෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන්ට කිසිදු හානියක් සිදුව නොමැති බව සදහන්. ගල් සහ ගස් සමග පස් කන්ද මාර්ගය මතට වැටීම හේතුවෙන් එම මාර්ගයේ වැඩි කොටසක් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි හපුතලේ පොලීසිය ප්‍රකාශ කළේ.

එමෙන්ම අතුරලිය - කටහතර ප්‍රදේශයේදී නිල්වලා ගගේ ගසාගෙන ගිය පුද්ගලයෙකු ගසක එල්ලී සිටියදී ප්‍රදේශවාසීන් සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඉදිරි පැය විසි හතර තුළ පවතින වැසි තත්වයේ වෙනසක් පෙන්නුම් කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව පසුගිය දිනවල අධික වර්ෂාවක් පතිත වූ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලට වැසි තත්වයේ අඩුවීමක් පෙන්නුම් කරන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required