
එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු තනතුරක් වෙනස් නොකළ යුතු බවට පක්ෂයේ මධ්‍යම කමිටුව අද තීරණය කරනු ලැබුවා.
එක්සත් ජාතික පක්ෂය ක්‍රමයෙන් ඉදිරියට ගෙන ඒම සඳහා පක්ෂයේ වත්මන් නායකයින් ඉතා උනන්දුවෙන් දර දිය ඇද කටයුතු කොට ඇති හෙයින් ඉදිරි වැඩ කටයුතුද එම නායකයන්ට කරගෙන යාමට ශක්තිය ඇති බව මධ්‍යම කමිටුවට සහභාගී වූ පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස වී තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේදී පක්ෂ මධ්‍යම කමිටුව අද පස්වරුවේ රැස්වුණා.
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට පක්ෂ නියෝජ්‍ය නායක ධුරය හෝ මහ ලේකම් ධුරය ලබා දිය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවක් ද මධ්‍යම කමිටුවේ සාකච්ඡාවට බඳුන් වී ඇති අතර එහිදී පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සඳහන් කර ඇත්තේ වර්තමානයේ පක්ෂ තනතුරු වල කිසිදු වෙනසක් ඇති කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.
සියලු දෙනාම එකමුතු වී එකා මෙන් ඉදිරි ගමන යා යුතුව ඇති බවයි මෙහිදී අදහස් දක්වමින් පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා කියා සිටියේ.
පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් මහත්වරුන්ද මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර තිබෙන්නේ පක්ෂයේ තනතුරු දරන්නන් රට වටා ඇවිදිමින් පක්ෂයේ බිම් මට්ටමේ ගොඩනැගීමේ කටයුතු නිසියාකාරව සිදු කරමින් සිටින බවයි.
එක්සත් ජාතික පක්ෂයේ නායක ,මහලේකම් සහ සභාපති තනතුරු හැර සෙසු සියලු තනතුරු අහෝසි කර නායකත්ව මණ්ඩලයක් ඇති කළ යුතු බවට මීට පෙර යෝජනාවක් පැමිණ තිබූ අතර එම යෝජනාව ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොවන බවද මධ්‍යම කමිටුවේ දී තීරණයකට එළැඹ තිබෙනවා.