
සාමය, අන්‍යෝන්‍ය සහයෝගය සහ මිත්‍රත්වය පදනම් කර ගනිමින් ආරම්භ කෙරුණු “එක් තීරයක් – එක් මාවතක්” ප්රයත්නය අතීත සේද මාවතේ නවීන ස්වරූපය බවත්, මෙමගින් එක් රටකට පමණක් නොව රටවල් රැසකට යහපත සැලසෙන බවත් චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පවසනවා.
03 වන “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සහයෝගීතා සමුළුව චීන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රටවල් 20ක පමණ රාජ්‍ය නායකයන් සහ රටවල් 130ක පමණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අද බීජිං නුවර මහජන මහා ශාලාවේ දී ආරම්භ කෙරුණු අතර එහි මුඛ්‍ය දේශනය සිදු කරමින් චීන ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක් වූ අතර සමුළුව සඳහා සහභාගී වූ රාජ්‍ය නායකයන් පිළිගනු ලැබුවේ හමුදා උත්තමාචාර පිරිනමමින්.
අනතුරුව ඔවුන් චීන ජනාධිපතිවරයා සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියා.

සමුළුව ඇමතූ චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ එකිනෙකාට එරෙහිව යමින් අනෙකා යටපත් කරනු වෙනුවට සියලුදෙනා අත්වැල් බැඳ ගනිමින් එකිනෙකාගේ සහයෝගය ඇතිව නැඟී සිටිම “එක් තීරයක් – එක් මාවතක්” සංකල්පයේ මුලික පදනම බවයි.
අනුනට උදව් කිරීමේ අවසන් ඵලය තමාට යහපතක් සිදුවීම බව ද චින ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.
“එක් තීරයක් – එක් මාවතක්” වැඩපිළිවෙළ ආරම්භ කර ගෙවී ගිය වසර 10 තුළ කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් උදාකර ගැනීමට ඊට සම්බන්ධ වූ සියලු රටවලට හැකි වූ බවත් එම රටවල් අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට නව මාවත් රැසක් විවර වූ බවත් ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නා.
අනාගතයේ දී “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන සඳහා පදනම් කර ගන්නා අට වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් ද මෙහිදී චීන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
ජාත්‍යන්තර බහු පාර්ශ්වීය ජාලයක් නිර්මාණය කිරීම, ජගත් විවෘත ආර්ථිකයක් සඳහා සහාය දැක්වීම, සහයෝගීතාව උදෙසා ප්‍රායෝගික ප්‍රවේශයක් සැකසීම, හරිත සංවර්ධනය දිරිමත් කිරීම, විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සඳහා අවස්ථා සැලසීම, අන්තර් පුද්ගල සබඳතා ශක්තිමත් කිරීම, “එක් තීරයක් – එක් මාවතක්” සාමාජික රටවල් අතර නොබිදෙන සබඳතාවන් දිරිමත් කිරීම සහ එම රටවල් අතර ආයතනික සබඳතා ශක්තිමත් කිරීම එකී අට වැදෑරුම් ප්‍රතිපත්ති වනවා.
එක් තීරයක් – එක් මාවතක් සංකල්පය ඔස්සේ මිත්‍රත්වයේ සංධ්වනියක් නිර්මාණය කිරීමට උපරිමයෙන් දායක වන ලෙසද ෂී ජින් පිං මහතා සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් ඇතුළු නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියා.

විවිධ මහද්වීපයන් නියෝජනය කරමින් රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් (Vladimir Putin) , කසකස්ථාන ජනාධිපති කාසීම් ජොමාර්ට් ටොකයෙව් (Kassym-Jomart Tokayev), ඉන්දුනිසියානු ජනාධිපති ජොකෝ විදොදෝ (Joko Widodo) , ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නෑන්ඩස් (Alberto Fernández), ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබේ අහමඩ් (Abiy Ahmed) යන මහත්වරුන් ද සමුළුව අමතා අදහස් දක්වනු ලැබුවා.
සමුළුව අමතමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් (Antonio Guterres) මහතා පැවසුවේ ප්‍රමාණවත් යටිතල පහසුකම් සහ තොරතුරු පහසුකම් සැපයීමෙන් තොරව අනාගත ලෝකයට සංවර්ධනය ළගා කර ගැනීම අපහසු බවයි.
මෙම අවශ්‍යතා ඉටුකරලීම උදෙසා “එක් තීරයක් – එක් මාවතක්” වැඩපිළිවෙළ අතිමහත් රුකුලක් බව ද මහලේකම්වරයා පෙන්වා දුන්නා.
-
1 year ago
ශ්‍රී ලංකා – වියට්නාම නායකයන් අතර හමුවක්
අග්නිදිග ආසියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ වේදිකාවක් ලෙස වියට්නාමය ක්‍රියා කිරීමට සූදානම් බවත්, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් තමන් සෑමවිටම මූලිකත්වය ගන්නා බවත් වියට්නාම ජනාධිපති වෝ වාන් තුවොං (Vo Van Thuong) මහතා පවසනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාම ජනාධිපති වෝ වාන් තුවොං (Vo Van Thuong) මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා 03 වන “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුවට සමගාමීව අද (18) පස්වරුවේ බීජිං නුවරදී පැවැත්වුණු අතර එහිදී වියට්නාම ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා. දෙරටට බලපාන වැදගත් කරුණු ගණනාවක් පිළිබඳ මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළා.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් කාර්ය සැලසුමක් සැකසීමට ද තීරණය කෙරුණා.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ අනාගත අපේක්ෂා සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී කරුණු පැහැදිළි කළා. වැටී තිබූ වියට්නාම ආර්ථිකය යළි ගොඩනැඟීම සඳහා වියට්නාමය අනුගමනය කළ පිළිවෙත පිළිබඳවද එහිදී මුහුණ දීමට සිදු වූ අභියෝග පිළිබඳවද වියට්නාම ජනාධිපතිවරයා කරුණු පෙන්වා දුන්නා. දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා තහවුරු කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද මෙහිදී නායක දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබුවා.
එකට එක්ව ඉදිරියට යාමේ නව මාර්ග සොයා ගැනීමේ නැවුම් ප්‍රවේශයක් ලෙස මෙම සාකච්ඡාව සැලකිය යුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.