/
/
title icon
ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් ගෙන ආ තරුෂිව ජනපති මහනුවර ජනපති මන්දිරයට ගෙන්වා ගනී
ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් ගෙන ආ තරුෂිව ජනපති මහනුවර ජනපති මන්දිරයට ගෙන්වා ගනී
Editor
1 year ago
Share:
ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් ගෙන ආ තරුෂිව ජනපති මහනුවර ජනපති මන්දිරයට ගෙන්වා ගනී

ආසියා ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව ඇගයීම මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් වෙත අක්තපත්‍ර ප්‍රදානය වෙනුවෙන් මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සව අවස්ථාවේදීම තරුෂි කරුණාරත්න ශිෂ්‍යාවද උත්සවාකාරයෙන් ජනාධිපති මන්දිරය වෙත පිළිගැනීම සිදු වූ අතර ජනාධිපතිවරයා විසින් සිසුවියව නව තානාපතිවරුන් වෙත හඳුන්වාදීමද සිදු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. 

තරුෂි කරුණාරත්න ශිෂ්‍යාවගේ පාසල වූ වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පාසලේ මලල ක්‍රීඩා කටයුතුවල නිරතවන සිසු සිසුවියන් 76 දෙනාටද ඇය සමග මෙම අවස්ථාවට එක්වීමට ආරාධනා කර තිබුණා.

ඒ අනුව එම සිසු සිසුවියන් සියලුදෙනා ද, විදුහල්පතිවරයා සහ තරුෂිගේ ක්‍රීඩා පුහුණුකරු ඇතුළු ක්‍රීඩා පාසලේ ගුරුවරුන් 06 දෙනාද මෙම අවස්ථාවට එක්ව සිටියා. 

මෙහිදී තරුෂි කරුණාරත්න සිසුවියගේ දක්ෂතා අගයමින් සිය සුබ පැතුම් පළ කළ ජනාධිපතිවරයා වසර 21 කට පසුව ආසියා ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒම සම්බන්ධයෙන් ස්තූතිය පිරිනමනු ලැබුවා. 

අනතුරුව ජනාධිපතිවරයා තරුෂි ඇතුළු ක්‍රීඩා පාසලේ සිසු සිසුවියන් සමග සුහද කතාබහකට එක්වුණා. 

ක්‍රීඩා පාසල් සංකල්පය අනුව 1995 වසරේදී මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා පාසල වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයේ ස්ථාපිත කෙරුණා.

මෙම විදුහල ක්‍රීඩා අංශයෙන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණ රැසක් අත්කරගෙන සිටින අතර දකුණු ආසියානු කණිෂ්ඨ මට්ටමේ සිට ඔලිම්පික් ක්‍රීඩා දක්වා සියලුම ජාත්‍යන්තර තරග නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවූ එකම පාසල ද වනවා. 

මෙම සිසු සිසුවියන්ගේ මලල ක්‍රීඩා දක්ෂතා ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී බලධාරින්ගෙන් විමසනු ලැබුවා. 

මංතීරු 08ක් සහිත මීටර් 200ක ධාවන පථයක්, මීටර් 300ක එක් පුහුණු මංතීරුවක්, මීටර් 130ක සෘජු ධාවන මංතිරු 04ක් ඉදිකිරීම ඇතුළු ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 220ක මුදලක් වැයවෙතැයි ඇස්තමේන්තුගත කර තිබෙන බව මෙහිදී සඳහන් කෙරුණා. 

අදියර දෙකක් යටතේ වසර දෙකක් ඇතුලතදී මෙහි ඉදිකිරීම් සම්පුර්ණ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත උපදෙස් දුන් අතර අවශ්‍ය ප්‍රතිපාදන මධ්‍යම රජය මඟින් වෙන් කිරීමට කටයුතු කරන බවද පැවසුවා.

a6391147a24d363debb1ba07cf8e91d6.jpg
0442918ee5fec8284c763a074c26f943.jpg
d087a15d526bdf20a1b1ddb20c4c4ffe.jpg
640b84b7ecf1c83fb07839dc8aa75482.jpg
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required