
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් එහි කටයුතු මෙහෙය වීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත් කිරීම සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝග නිකුත් කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝග නිකුත් කරනු ලැබුවා.
එම නියෝග දින 14ක කාලයකට බලපැවැත්වෙන බවයි එම නියෝගයේ සඳහන් වුණේ.
ඒ අනුව ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක මණ්ඩලයක් පත් කරමින් නිකුත් කළ ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අධිකරණය විසින් එක් අතුරු නියෝගයක් නිකුත් කළා.
එසේම අමාත්‍යවරයා විසින් පත්කරන ලද අර්ජුන රණතුංග මහතාගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයින්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් තවත් අතුරු නියෝගයක් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
එසේම පෙත්සම්කරු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට ඔවුන්ගේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් විනිසුරු මඩුල්ල විසින් ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.