
මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග නොතකා කොළඹ උත්සවයකට දේශපාලඥයන් කැඳවූ බව කියන කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මියට එරෙහිව එම කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙලෙස දේශපාලනඥයන් කැඳවා ඇතැයි පැවසෙන්නේ කොළඹ මහනගර සභාව විසින් ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොළඹ 12 පීර් සායිබු වීදියේ ඉදිකරන ලද ප්‍රජා ප්‍රජා ශාලාව ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයටයි.
එම උත්සවය පසුගිය 24 වැනිදා පවත්වා තිබෙනවා.
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවට කළ පැමිණිල්ලක් අනුව එම කොමිසම මෙම උත්සවයට අපේක්ෂකයන් ඇතුළු දේශපාලඥයන් සහභාගී කරවීමෙන් තොරව රාජ්‍ය නිලධාරීන් පමණක් සම්බන්ධ කරගෙන පවත්වන ලෙසට අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති විමර්ශන හා සැලසුම්) බී.පී.සී කුලරත්න මහතා කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මියට ලිඛිතව දැනුම්දීමක් කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, නාගරික කොමසාරිස්වරිය එම ඉල්ලීම නොතකා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂය බටහිර කොළඹ සංවිධායක සාගල රත්නායක මහතා සහ කොළඹ හිටපු පුරපතිනී රෝසි සේනානායක මහත්මිය ඇතුළු පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් පිරිසක් සම්බන්ධ කරගෙන උත්සවය පවත්වා ඇතැයි තොරතුරු වාර්තා වූ බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසනවා.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම සිද්ධිය ලබන 30 වැනිදා පැවැත්වීමට නියමිත කොමිෂන් සභා රැස්වීමේදී සාකච්ඡාවට ගෙන සුදුසු තීරණයක් ගන්නා බවයි.