/
/
title icon
හොරෙන් ජනප්‍රිය පාසල්වලට දැමූ දරුවන් ගැන තොරතුරු එළියට
හොරෙන් ජනප්‍රිය පාසල්වලට දැමූ දරුවන් ගැන තොරතුරු එළියට
Editor
1 year ago
Share:
හොරෙන් ජනප්‍රිය පාසල්වලට දැමූ දරුවන් ගැන තොරතුරු එළියට

අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් ක්‍රමවේදවලට පරිබාහිරව දරුවන් 2,367 ක් ජනප්‍රිය පාසල්වලට වසර තුනකට ආසන්න කාලයක් ඇතුළත් කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පසුගිය ඔක්තෝබර් මස නිකුත් කළ වාර්තාවකින් හෙළිවූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළා.

කොළඹ ගුරු මැදුරේදී පැවැති මාධ්‍ය හමුවේදී ජෝශප් ස්ටාලින් මහතා කියා සිටියේ 2020 ජනවාරි 1 වැනිදා සිට 2022 මැයි 31 දින දක්වා කාලය තුළදී විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විශේෂ විගණන වාර්තාවෙන් එම කරුණු හෙළිවන බවයි.

විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව අධ්‍යාපන ලේකම්වරයා දරුවන් ඇතුළත් කිරීම සඳහා ලිපි 3,308 නිකුත් කර ඇති බවද ඔහු සඳහන් කළා.

එම ලිපිවලින් සියයට 72 ක් ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති කාර්යාලය ඇතුළු නිලධාරීන් කළ ඉල්ලීම් මත ලිපි නිකුත් කර ඇති බව කී ස්ටාලින් මහතා ඇතැම් ලිපි විධිමත් අයදුම් පත්‍රයක් නොමැතිව ඉදිරිපත් කර ඇති අතර ළමුන් ඇතුළත් කිරීමේ ලිපිය නිකුත් කර ඇත්තේ දෙමාපියන්ට නොව ඉල්ලුම්කරුට ද බවද සඳහන් කළා.

මෙහි බරපතළ පීඩාවට පත් වන්නේ 5 වසර ශිෂ්‍යත්ව ලාභීන් වන අතර පසුගිය වසරේ 5 වසර ශිෂ්‍යත්වය පන්තිය සඳහා කොළඹ විශාඛා විද්‍යාලයට ලිපි 41 ක්, කොළඹ ආනන්ද විද්‍යාලයට ලිපි 48 ක්, කොළඹ නාලන්දා විද්‍යාලයට ලිපි 38 ක්, කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයට ලිපි 33 ක්, කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය ලිපි 31 ක්, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට ලිපි 48 ක්, මහනුවර ධර්මරාජ විද්‍යාලයට ලිපි 29 ක්, මහනුවර මහමායා බාලිකාවට ලිපි 30 ක්, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට ලිපි 15 ක් සහ මහනුවර උසස් බාලිකාවට ලිපි 31 ලෙස ප්‍රධාන පෙළේ පාසල්වලට දරුවන් ඇතුලත් කිරීමට ලිපි නිකුත් කර ඇති බවත් මේ හේතුවෙන් ශිෂ්‍යත්ව සමත් දරුවන්ට 6 ශ්‍රේණියේ අවස්ථාව අහිමි වී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

අතරමැද පන්තිවලට ලිපි හරහා සිසුන් දහස් ගණන් ඇතුළත් කර ඇති අතර එයින් කොළඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසල් විශේෂත්වයක් ගෙන ඇති බව කී ස්ටාලින් මහතා අසාධාරණ ලක්වූ දෙමව්පියන්ට මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටින බව ද සඳහන් කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required