
භාණ්ඩ අනූ හතකට ලබන ජනවාරියේ සිට 18%ක වැට් බදු අය කිරීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත (VAT) පාර්ලිමේන්තුවේදී අද වැඩි ඡන්ද 45 කින් සංශෝධන සහිතව සම්මත වුණා.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 55ක් පමණයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක්, එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන සහ සමග ජන බලවේගයේ සිට ආණ්ඩුවට එක් වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.
පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, නිදහස් ජනතා සන්ධානය, දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරුන්.
අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, වඩිවේල් සුරේෂ්,නිමල් ලාංසා සහ පියංකර ජයරත්න යන මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහත්වරු පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගර්භයේ රැඳී සිටියේ නැහැ.
මෙම විවාදයේදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ වැට් බදු සංශෝධනයෙන් කෝටි 37,800 ක ආදායමක් බලාපොරොත්තු වන බවයි.