/
/
title icon
කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කෙරුවට හිටපු නගරාධිපති සිපිරිගෙට
කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කෙරුවට හිටපු නගරාධිපති සිපිරිගෙට
Editor
1 year ago
Share:
කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කෙරුවට හිටපු නගරාධිපති සිපිරිගෙට

කුරුණෑගල රාජ සභා මණ්ඩපයේ කොටසක් ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධියට වරද පිළිගත් කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනෙකුට වසර තුන බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කෙරුණා.

ඒ අදාළ නඩුව කුරුණෑගල පළාත්බද මහාධිකරණය හමුවේ ඊයේ කැඳවූ අවස්ථාවේදීයී.

සිර දඬුවමට අමතරව රජයට රුපියල් එක් කෝටි තිස් හය ලක්ෂයක මූල්‍ය වන්දියක් සහ එක් අයෙකුට රුපියල් පනස් දහස බැගින් වූ දඩ මුදල්ද නියම කෙරුණා.

2020 වසරේ ජූලි මස 14 වැනිදා කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි දෙවැනි බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය හෙවත් මඟුල් මඩුවේ කොටසක් කුරුණැගල නගර සභාව මඟින් ඩෝසර් කර විනාශ කරනු ලැබුවා.

එවකට මාධ්‍ය හමුවක් කැඳවමින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ප්‍රකාශ කළේ ගොඩනැගිල්ලේ පිටුපස කොටසෙන් දිවෙන මාර්ගයක් පුළුල් කිරීම සඳහා ගොඩනැගිල්ලේ කොටසක් කඩා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තමාට අවසර ලබා දුන් බවයි.

එවන් පසුබිමක අදාළ ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල පොලිසියට පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිලිවලට අනුව විමර්ශන කටයුතු සිදුකළ පොලිසිය ඒ පිළිබඳව අධිකරණයටද කරුණු වාර්තා කළා.

එමෙන්ම ඓතිහාසික වටිනාකමින් යුත් මෙම ගොඩනැගිල්ල කඩාබිඳ දැමීම සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල විද්වත් කමිටුවක්ද පත් කරනු ලැබුවා.

කමිටුවේ නිගමනය වී තිබුණේ අදාළ විනාශයට වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි.

එවන් පසුබිමක කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනු කළා.

ඒ අනුව අදාළ නඩුව කුරුණෑගල මහාධිකරණයේදී ඊයේ යළි කැඳවනු ලැබුවා.

එහිදී කුරුණැගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු එකී චෝදනාවට වරද පිළිගනු ලැබුවා.

මෙසේ දඬුවම් නියම කෙරුණේ කුරුණෑගල මහ නගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සම්පත්, එහි හිටපු නාගරික කොමසාරිස් ප්‍රදීප් තිලකරත්න, එහි හිටපු නාගරික ඉංජිනේරු චමිත් බණ්ඩාර අධිකාරි, වැඩ අධිකාරී අයි. සුල්තිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු වන ලක්ෂ්මන් ප්‍රියන්ත යන විත්තිකරුවන්ටයි.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි මෙම ඓතිහාසික ගොඩනැගිල්ල 13වන සියවසේදී කුරුණෑගල රාජධානිය කරගත් දෙවැනි බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය හෙවත් මඟුල් මඩුව ලෙස සැලකෙනවා.

මෙම ගොඩනැගිල්ල 1940 අංක 09 දරන පුරාවස්තු ආඥාපනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයක්. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required