
කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු අද මියගොස් ඇති බව කළුතර උතුර පොලීසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ පානදුර, මෝදරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය සඳහන් කළා.
මියගොස් ඇති සැකකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 14 වැනිදා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, එහි වාට්ටු අංක තුනේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියා.
මියගොස් ඇති රැඳවියා පසුගිය 9 දා හෙරෝයින් මත්කුඩු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි අයෙකු බව පොලීසිය සඳහන් කළා.
සති දෙකකට පෙර දින 4ක් තුළදී රැඳවියන් තිදෙනෙකු මියගොස් තිබූ බවද බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.
කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වනවා.