
ගාස්තු නොගෙවීම් හේතුවෙන් ජල පාරිභෝගිකයින් 80,000කට අධික පිරිසකගේ පසුගිය වසර තුළ ජල සැපයුම විසන්ධි කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව ලක්ෂ 30ක් පමණ වන ජල පාරිභෝගිකයින්ගෙන් 80,970 දෙනෙකුගේ ජල සැපයුම් විසන්ධි කර ඇති බව එම මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
ඒ අතර ගෘහස්ත පාරිභෝගිකයින් 63,150 දෙනෙකු සිටින අතර ගෘහස්ථ නොවන පාරිභෝගිකයින් සංඛ්‍යාව 17,820ක්.
ජල සැපයුම් විසන්ධි කළ පාරිභෝගිකයින්ගෙන් රුපියල් මිලියන 1,909ක් ජලාපවහන මණ්ඩලයට අයකරගත යුතුව පවතිනවා.
එමෙන්ම ජල ගාස්තු නොගෙවීම හේතුවෙන් රුපියල් මිලියන 6,118ක් මණ්ඩලයට අය කරගත යුතුව පවතින බව ද සඳහන්.
ඒ අතර රෝහල් මඟින් රුපියල් මිලියන 182ක් ද පාසල් මඟින් රුපියල් මිලියන 175ක් ද හමුදාව සහ පොලීසිය මඟින් රුපියල් මිලියන 116ක් ද ඇතුළුව ජල සම්පාදන මණ්ඩලය හිඟ වාරික අය කරගත යුතුව පවතිනවා.
මේ අතර ජල සම්බන්ධතා විසන්ධි කර ඇති පාරිභෝගිකයින් හට ගෙවිය යුතු මුදලින් සියයට 25ක මුදලක් ගෙවා යළි සබඳතාව ලබාගෙන ඉදිරි ගෙවීම් කටයුතු සිදුකරගෙන යා හැකි බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.