
කතානායක තනතුර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉතා වැදගත් මෙන්ම සම්භාවනීය තනතුර වෙයි. කථානායකවරයා රටේ ජනාධිපතිවරයාට හා ඔහුට පහළින් ඊළඟට සිටින වැදගත් පුද්ගලයා වන අගමැතිවරයාට පමණක් තනතුරින් තුන්වැනි ස්ථානයේ සිටී. කථානායකවරයෙකු රහිතව මන්ත්‍රී මණ්ඩලයේ කටයුතු පවත්වාගෙන යෑමට නොහැකි ය. අලුතෙන් තෝරාපත් කරගනු ලැබූ පාර්ලිමේන්තුවක පළමුවැනි කාර්යය වන්නේ කථානායකවරයකු තෝරා පත් කර ගැනීමයි. (1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 වැනි වගන්තිය ) ඉන් පසු නියෝජ්‍ය කථානායකවරයා හා නියෝජ්‍ය කාරක සභාපතිවරයා තෝරා පත් කර ගැනෙති.
කථානායක තනතුරේ සුවිශේෂී ලක්ෂණ වන්නේ එහි ස්වාධීනත්වය හා පක්ෂපාතීත්වය ශ්‍රී ලංකාවේ කථානායක ධුරය දිගු කාලයක පටන් දේශපාලන පත්වීමක් වශයෙන් සලකනු ලැබූ නමුත් අනුක්‍රමයෙන් පත්වුණු කථානායකවරු ගණනාවක් තම යුතුකම් අපක්ෂපාතීව සහ දේශපාලන මධ්‍යස්ථභාවයකින් යුක්තව ඉටු කිරීමට ප්‍රයත්න දැරූහ. ධූරයට තෝරාපත් කරගැනීමෙන් පසු කථානායකවරයා පාර්ලිමේන්තුවේදී සිය පක්ෂය නියෝජනය කරනු ලැබීම අවසන් වෙයි. ඔහු පක්ෂයේ කිසිදු තනතුරක් නොදරන අතර කිසිම පක්ෂ රැස්වීමකට හෝ ක්‍රියාකාරකමකට සහභාගී නොවේ. දේශපාලන මතභේදවලට හා පක්ෂයේ මෙහෙයුම් වලට සම්බන්ධ නොවී සිටියි. හිටපු කථානායකවරයා ඊළඟ මහා මැතිවරණයේදී නිතරඟයෙන් තෝරාපත් කර ගැනීමේ සම්ප්‍රදායක් කලින් පැවතිණි .එවකට සිටි කථානායක ශ්‍රීමත් ඇල්බට් ඇෆ් පීරිස් ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් 1952 1956 මහ මැතිවරණ වලට තරඟ කළ අවස්ථාවේ දී කිසිම දේශපාල පක්ෂයක් ඔහුට එරෙහිව අපේක්ෂකයෙකු ඉදිරිපත් කළේ නැත. අවාසනාවකට මෙන් මේ සම්ප්‍රදාය ඉන්පසු අනුගමනය නොකෙරුණු අතර වත්මන් මැතිවරණ ක්‍රමයට අනුව එය අනුගමනය කිරීම දුෂ්කරය.
දේශපාලන පක්ෂයකට සම්බන්ධ කථානායකවරයා එම පක්ෂය විසින් තනතුරට නාම යෝජනා කරනු ලබන නමුත් ඔහුගේ කාර්ය අපේක්ෂා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයිතියක් ඇත. එමෙන්ම තමන්ගේ පක්ෂය ගැන නොතකා සියලුම මන්ත්‍රීවරුන්ගේ සහය අපේක්ෂා කිරීමට කථානායකවරයෙකුට අයිතිය ඇත්තේ ය .රීතිවල විශේෂයෙන් බලතල පැවරී නැති කරුණු සම්බන්ධයෙන් රීති හා නියෝග නිකුත් කිරීමට කථානායකවරයාට අවශේෂ බලතල ඇත්තේය. එසේ කටයුතු කිරීමේදී තීරණයක් ගැනීමට අවශ්‍ය යැයි ඔහු සලකනු ලබන කරුණු ,සාක්ෂි සහ තොරතුරු ඉදිරිපත් කරන ලෙසට ඕනෑම මන්ත්‍රීවරයෙකුගෙන් ඉල්ලා සිටිය හැකිය. එහෙත් ඉදිරිපත් කෙරුණ සියලුම කරුණු සලකා බැලීමෙන් පසු ඔහු විසින් තීන්දුවක් ලබා දෙනු ලබන අතර එය අවසාන තීන්දුව වශයෙන් පිළිගත යුතු වෙයි. තීන්දුව යළි සලකා බලන ලෙසට ඔහුගෙන් ඉල්ලීමක් කළ හැකි නමුත් ඔහුගේ තීන්දු අභියෝගයට ලක් කිරීමට, විවේචනයට ලක් කිරීමට හෝ ප්‍රශ්න කරනු ලැබීමට හෝ නොහැකිය. විශ්වාස භංග යෝජනාවක් මත හැරුණු කොට ඔහුගේ තීන්දු අභියෝගයට ලක් කළ හැකි නොවෙයි. මේ දක්වා එවැනි යෝජනා හතරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරී ඇත. නමුත් එකක්වත් සම්මත වූයේ නැත.
සභාව දෙපාර්ශ්වයකට බෙදී ඡන්දය විමසන අවස්ථාවක දෙපාර්ශවයෙන්ම ඡන්ද සමාන වූ විටෙක මිස කථානායකවරයා ඡන්දය දීමෙන් වැළකෙයි.ඡන්ද සමාන වූ විටක ඔහු සිය තීරක ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේදී එසේ කරනු ලබන්නේ සුප්‍රතිෂ්ඨාපිත පාර්ලිමේන්තු ප්‍රතිපත්ති හා සම්මුතීන්ට අනුකූලවයි. මේ දක්වා කථානායකවරයාට සිය තීරක ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය වූ එකම අවස්ථාවකවත් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ උද්ගත වූයේ නැත.
කථානායකවරයා පාර්ලිමේන්තු නියෝජිතයා, ප්‍රකාශකයා මෙන්ම සභාවේ අවසාන බලධාරියා ද වෙයි. කථානායකවරයාගේ බලය ඔහුට ලැබී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ,පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පණත සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා පරිචය මේ මඟිනි. ඔහු පාර්ලිමේන්තු රැස්වීම් වලදී මුලසුන දරන අතර , විනය රීති පිළිපදිනු ලැබීම පිළිබඳ වගකීම ද උසුලයි. ඔහුගේ කාර්යභාරය සැකසී ඇත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කථානායකවරයාගේ කාර්යභාරයය ආදර්ශ කර ගනිමිනි. පාර්ලිමේන්තුව විසින් ඔහු වෙත පවරා ඇති අධිකාරි බලය ඔහු ක්‍රියාත්මක කරනුයේ නීත්‍යානුකූල ලෙසත් පාර්ලිමේන්තුවේ උපරිම යහපත පිණිසත් ය. පාර්ලිමේන්තුවේ සියලුම කරුණු සම්බන්ධයෙන් ඔහුගේ තීරණය අවසාන තීරණය වෙයි.
සභාවෙන් නිකුත් කෙරෙන නිල නිවේදන කථානායකවරයා විසින් අත්සන් තැබෙන අතර ඊට යොමු කරන නිවේදන ඔහු අමතා ඉදිරිපත් කෙරේ. මෙම නිලයේ ව්‍යවස්ථාපිත රාජකාරි වලින් සමහරක් වන්නේ පණත් කෙටුම්පත්වල හෝ ප්‍රජා අශක්නුතාවට භාජනය කිරීම හා මන්ත්‍රීවරයකු නෙරපා හැරීම පිළිබඳ යෝජනා සම්මතයක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමත්, යම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොගැටෙන බවට වගබලා ගැනීමත් යන කරුණු යි. ජනාධිපතිවරයාට එරෙහි දෝශාභියෝග යෝජනාව පිළිගත හැක්කේ කථානායකවරයාට පමණි.
සභාවේ බලතල හා වරප්‍රසාද වල ආරක්ෂකයා වන්නේද ඔහුයි. ඔහු විශේෂ කාරක සභාවලට සභාපතිවරුන් හා සාමාජිකයන් පත් කරන අතර පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව ,තේරීම් කාරක සභාව සහ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ කාරක සභාව යන මේවායේ සභාපති ධුරයේ කටයුතු ඉටු කරන්නේ ය. සභාව වෙනුවෙන් ඔහු වෙනත් පාර්ලිමේන්තුවලින් පැමිණෙන නියෝජිතයන් සහ සම්භාවනීය පුද්ගලයන් පිළිගනී. විධිමත් අවස්ථාවන්හි ඔහු උත්සවීය කාර්යයභාරයක් ඉටු කරයි. සභාවට සහ ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂයේ හෝ භේදයක් නොතකා සියලු ම මන්ත්‍රීවරුන්ටත් ඔහු වග කියයි.
17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කථානායකවරයා නිලබලයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා වේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුවත් නව කථානායකවරයකු තෝරා පත් කරගන්නා තුරු ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සභාවේ තවදුරටත් කටයුතු කරනු ඇත. කථානායකවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවල සභාපතිවරයා ද වන්නේය.
පාර්ලිමේන්තුවේ කටයුතු සුමට ලෙසත් විධිමත් ලෙසත් පවත්වාගෙන යෑම තහවුරු කිරීමට කථානායකවරයාට පූර්ණ බලතල හිමිවේ.
කථානායකවරයාගේ ඇස නොගැටෙන සේ කිසිම මන්ත්‍රීවරයෙකුට සභාව ඇමතීමට අවස්ථාව නොලැබේ. මෙයින් අදහස් කරන්නේ මුලාසනෙන් බලය නොපැවරෙන තෙක් සභාව ඇමතීමට මන්ත්‍රීවරයකුට නොහැකි වන බවයි. කතා කරමින් සිටින මන්ත්‍රීවරයෙකුට සිය කතාව නතර කරන ලෙසට හෝ පාර්ලිමේන්තුවට නොගැළපේ යැයි තීරණය කෙරෙන වචන ඉල්ලා අස්කර ගැනීමට නියෝග කිරීමට ඔහුට හැකිය. එම වචන නිල වාර්තාවෙන් ඉවත් කරන ලෙසට නියෝග කිරීමටත් ඔහුට බලය පැවරී තිබේ. සභාව තුළ අවිනීත ලෙස හැසිරීම හේතු කොටගෙන ඉන් ඉවත් වන ලෙසට මන්ත්‍රීවරයෙකුට නියෝග කිරීමටත් ඔහුට බලය පැවරී තිබේ.
සභාව තුළ අවිනීත ලෙස හැසිරීම හේතුකොටගෙන ඉන් ඉවත්වන ලෙසට මන්ත්‍රීවරයෙකුගෙන් ඉල්ලා සිටීමට කථානායකවරයාට පුළුවන. එසේ නැතහොත් දරුණු ලෙස අවිනීත ලෙස හැසිරීම හේතු කරගෙන යෝග්‍ය යෝජනාවක් මඟින් සභාව තුළ මන්තිවරයෙකුගේ සේවය අත්හිටවනු ලැබීමටත් ඔහුට හැකි ය .සියලු මන්ත්‍රීවරුන් ඔහුට විනයගරුක විය යුතු අතර ඔහුට යෝග්‍ය ගෞරවය දැක්වීමේදීත් ඔහුගේ නියෝග හා තීරණයට අවනත වීමේදීත් දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. මන්ත්‍ර්‍රීවරුන්ට සභාවේ ආසන පැනවීමේ වගකීම මෙන්ම පුස්තකාල පහසුකම්, නිවාස ,දුරකථන වේතන, පාර්ලිමේන්තු ලිපි ද්‍රව්‍ය වැනි සෙසු පහසුකම් සැපයීමේ වගකීම ද කථානායකවරයා සතු වෙයි. ගැලරියට අමුත්තන් සහ ජනමාධ්‍යවේදීන් ඇතුල් කර ගැනීමේ කටයුතු ඔහු විසින් පාලනය කරනු ලබන අතර ගොඩනැගිලිවල පූර්ණ කළමනාකරණයක් සභාවේ ආරක්ෂක විධි විධාන සහ පොදු පරිපාලනයත්, කථානායකවරයාගේ වගකීම වේ. සියලුම මන්ත්‍රීවරුන්ට නිල කාමරේදී කථානායකවරයා හමුවිය හැකිය. පාර්ලිමේන්තුවේ කටයුතුවලට සහභාගි වනවාට වඩා එය අධීක්ෂණය කිරීම ඔහුගේ කාර්යයි. සාමාන්‍ය වශයෙන් විවාදවලට සහභාගි නොවන ඔහු අවශ්‍ය පරිදි ප්‍රකාශ කිරීම, නිවේදන නිකුත් කිරීම හෝ නියෝග දීම සිදු කරයි.
කථානායකවරයා සතු සියලු බලතල හා රාජකාරී මෙන්ම කථානායකවරයා වෙතින් සභාවේ සිදුවිය යුතු කටයුතු ක්‍රියාත්මක කිරීමේදී කථානායකවරයාට උපදෙස් දෙනු ලබන්නේ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසිනි.
කථානායකවරයා තෝරාපත් කර ගැනීමේ ක්‍රියා පටිපාටිය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වල විස්තරාත්මක ලෙස දැක්වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කාලසීමාවක් වෙනුවෙන් ඔවුන් අතරින් කෙනෙක් කථානායක ධූරයට පත් කරගනු ලබයි .
තෝරා පත් කර ගැනීම තරඟකාරී වුවහොත් ඡන්ද විමසීමක් සිදු කෙරේ. භාවිතයට අනුකූලව සාමාන්‍ය වශයෙන් කථානායක තනතුරට තෝරාපත් කර ගනු ලබන්නේ පාලක පක්ෂයේ අපේක්ෂකයා වන නමුත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හතරවැනි පාර්ලිමේන්තුව කථානායක ධූරය සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඒකචඡන්දයෙන් තෝරාපත් කරගනු ලැබීය.
හිටපු කථානායකවරු.
ගරු. සර්. ෆ්‍රැන්සිස් මොලමුරේ - 1931-1934
ගරු .එෆ්.ඒ .ඔබේසේකර - 1934-1935
ගරු .සර්.වෛත්‍යලිංගම් දුරේසාමි - 1936 - 1947
ගරු. සර්. ෆ්‍රැන්සිස් මොලමුරේ - 1947 - 1951
ගරු.සර්. ඇල්බට් එෆ් පීරිස් - 1952 - 1956
ගරු.එච්.එස් ඉස්මයිල් - 1956 - 1959
ගරු.ටී.බී.සුභසිංහ - 1959 - 1960
ගරු.ආර්.එස් පැල්පොළ - 1960 - 1964
ගරු .හියු ප්‍රනාන්දු - 1964 - 1964
ගරු.සර්. ඇල්බට් එෆ් පීරිස් - 1965 - 1967
ගරු.ෂර්ලි කොරයා - 1967 - 1970
ගරු.ස්ටැන්ලි තිලකරත්න - 1970- 1972
ගරු.ස්ටැන්ලි තිලකරත්න - 1972 - 1977
ගරු.ආචාර්ය.ආනන්දතිස්ස ද අල්විස් - 1977 - 1978
ගරු.බාකීර් මාකර් - 1978 - 1983
ගරු.ඊ.එල් සේනානායක - 1983 - 1988
ගරු.එම්.එච්.මොහොමඩ් - 1989 - 1994
ගරු.කේ.බී.රත්නායක - 1994 - 2000
ගරු.අනුර බණ්ඩාරනායක - 2000- 2001
ගරු.ජෝසප් මයිකල් පෙරේරා - 2001 - 2004
ගරු .විජයමු ලොකුබණ්ඩාර - 2004 - 2010
ගරු.චමල් රාජපක්ෂ - 2010 - 2015
ගරු. කරූ ජයසූරිය - 2015 - 2020
ගරු. මහින්ද යාපා අබේවර්ධන - 2020 සිට මේ දක්වා
ජයනි අනූෂිකා පෙරේරා.