
06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ වරාපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ඉතිරි විෂයන් 03 සිසුන් වෙසෙන ඒ ඒ පළාත් අනුව ආවේණික කර්මාන්ත ව්‍යාපාර සම්බන්ධ කර ගනිමින් හැදෑරීමට අවස්ථාව සලසා දෙන බවයි.
එමෙන්ම, ඉදිරියේදී පාසලට පැමිණෙන සියලු ගුරුවරුන් තොරතුරු තාක්ෂණ දැනුමෙන් හොඳින් සන්නද්ධව සිටිය යුතු බවත් මේ වනවිට සෑම කලාපයකටම එක බැගින් පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන ඇසුරින් ගුරුවරුන් පුහුණු කිරීමට විශාල වැඩපිලිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියා.
ගුරුවරුන් වෙත පරිගණක පුහුණුව ලබාදෙන අතරම මෘදුකාංග සංවර්ධනයට සහ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් ද කලාප මට්ටමින් පිරිසක් සකස් කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර, මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තීය විෂයක් නොමිලයේ හැදෑරීමට අවස්ථාව ලබාදීමට එළැඹෙන මාර්තු 05 වනදා සිට පියවර ගන්නා බවද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා.
දිවයින පුරා මධ්‍යස්ථාන 300 ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාවට නැංවෙන අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු ඊට පෙනී සිටි සිසුන්ට ද මේ ආකාරයේම පුහුණු වැඩසටහන් සැලසුම් කර තිබෙනවා.