
හොරණ දොඹගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරමින් සිටියදී මියගිය හමුදා සෙබළෙකුගේ මරණයට අදාළව සැකපිට එම කඳවුරේම සෙබළුන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
යුද හමුදා පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී සහ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී ලබාදුන් ප්‍රකාශ එකිනෙකට පරස්පර වීම හේතුවෙන් එම සෙබළුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
හමුදා කඳවුරේ පොකුණක තිබී මියගිය හමුදා සෙබළාගේ සිරුර පසුගිය ජනවාරි මාසයේදී සොයාගනු ලැබුවා.
මියගිය හමුදා සෙබළා දොඹගොඩ යුද හමුදා කඳවුරේ යුද උපකරණ බලකායේ ක්‍රීඩා උපදේශකවරයෙකු ලෙස කටයුතු කළා.
24 හැවිරිදි වියේ පසුවන තරිඳු ලක්ෂාන් ඇතිළිවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකපිට අත්අඩංගුවට ගත් සෙබළුන් සිව්දෙනා සමග මියගොස් ඇති හමුදා සෙබළා කඳවුර තුළ මත්පැන් සාදයක් පවත්වා ඇති බවයි.
අනතුරුව ඔවුන් විසින් කඳවුර තුළ ඇති පොකුණේ තරගයට පිහිනීමට යෝජනාවක් ගෙනවිත් ඇති බවත් එහිදී මියගොස් ඇති සෙබළා පොකුණට බැස පිහිනායමින් සිටියදී දියේ ගිලී මියගොස් ඇති බවටත් පොලීසිය සැක පළ කරනවා.
එම අවස්ථාවේදී සැකකාර සෙබළුන් ඒ පිළිබඳව කිසිවෙකුටත් නොදන්වා මියගිය හමුදා සෙබළාගේ ජංගම දුරකථනය ද පොකුණට විසිකර දමා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.