
ශ්‍රී ලංකන් ගුවන් යානාවල ගමන්වාර දහයකට වැඩි ප්‍රමාණයක් අද දිනයේත් ප්‍රමාද වී, තවත් ගුවන් ගමන්වාර තුනක් මුළුමනින්ම අවලංගු කළ බව එම ගුවන් සමාගම පවසනවා.
මෙවන් තත්ත්වයක් නිර්මාණය වූයේ ඉකුත් ඉරිදා ගුවන් ගමන්වාර හතරක් ප්‍රමාදයෙන් නොසන්සුන්තාවක් ඇතිවී පැය 48ක් ඉක්මයාමටත් පෙරවීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ මෙය යථා තත්ත්වයට පත්වීමට දින පහක් පමණ ගතවිය හැකි බවයි.
ශ්‍රී ලංකන් ගුවන් ගමන් වාර ප්‍රමාදවීම සහ ඇතැම් ගමන් වාර අවලංගුවීමේ සිද්ධීන් පසුගිය කාලය පුරා වාර්තා වූ අතර එහි ආසන්නතම සිද්ධිය වාර්තා වූයේ පසුගිය ඉරිදා දිනයේදීයි.
එහිදී අපහසුතාවට පත්වූ ගුවන් මගීන්ගෙන් ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩල සේවකයින්ට දැඩි දෝෂාරෝපණ එල්ලවූ අතර ගුවන්යානයක මීයෙකු සිටීම ගුවන් ගමන් ප්‍රමාදයට බලපෑ බව විෂයභාර ඇමතිගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණ වුණා.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා පැවසුවේ අර්බුදයට ප්‍රධාන හේතුව ගුවන් සේවය සතුව ප්‍රමාණවත් ගුවන්යානා නොමැතිවීම බවයි.
එවන් පසුබිමක අද නැවතවරක් ගුවන් ගමන්වාර 10 කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාද වුණා.
එසේම, ගුවන් ගමන්වාර 03කට ආසන්න ප්‍රමාණයක් අද දිනයේදී අවලංගු වී ඇති බව වාර්තා වුණා.