
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නඳුන් චින්තක හෙවත් හරක් කටාව අප්‍රේල් මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අදාළ නියෝගය නිකුත් කළ අතර, ඒ අනුව හරක් කටාව තංගල්ලේ පැරණි බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා.
දින 362ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කෙරුණු මෙරට තුළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ නඳුන් චින්තක හෙවත් "හරක් කටා" අද රැඳවුම් නියෝග අවසන් කිරීමෙන් පසු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
විදේශගතව සිට මෙරට තුළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ නඳුන් චින්තක නොහොත් "හරක් කටා" ඩුබායිහීදී අත්අඩංගුවට ගනු ලැබුවේ 2022 වසරේ අගෝස්තු මාසයේදීයි.
කෙසේ වෙතත්, ඔහුව මෙරටට ගෙන්වාගැනීමට සිදුකළ යුතු උදර්පන කටයුතු විධිමත්ව සිදුනොවීම හේතුවෙන් ඩුබායි පොලීසිය හරක් කටාව මුදාහැර තිබුණා.
අනතුරුව 2023 මාර්තු 7 වැනිදා මැඩගස්කරයේ දී "හරක් කටා" සහ සළිඳු මල්ෂික නොහොත් "කුඩු සළිඳු" ඇතුළු 7දෙනෙකු යළි අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් දිවයිනට රැගෙන ආවේ 2023 වසරේ මාර්තු 15 වැනිදායී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව එතැන් සිට රැඳවුම් භාරයේ තබාගනිමින් ඔවුන් දෙදෙනාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරනු ලැබුවා.
එලෙස රහස් පොලිස් භාරයේ රඳවා සිටින අතරතුර හරක් කටා ඉන් පැනයාමට උත්සාහ කළ අතර එය ව්‍යර්ථ කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළා.
කෙසේ වෙතත්, රැඳවුම් නියෝග අවසන් කිරීමෙන් පසු "හරක් කටා" සහ "කුඩු සළිඳු" අද පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමටද කටයුතු කෙරුණා.
මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටි සලිඳු මල්ෂික ගුණරත්න හෙවත් කුඩු සලිඳුද ලබන මාර්තු 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, සැකකරු පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.