
අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලුදෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතායා වශයෙන් අද දින එක් වූ ඒ මහතා මාධ්‍යයට අදහස් පළ කරමින් මේ බව කියා සිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.
"මට කලකිරීමකට වඩා මගේ ලොකු හිතේ අමාරුවක් තියෙනවා. මට 2015 පොදු අපේක්ෂකයා විදියට මැතිවරණයට ඉදිරිපත් වෙලා රට ඉතා ඉතාමත් හොඳ තැනකට ගෙනියන්න ඕන වුණා. ඒ වැඩපිළිවෙල මට ගෙනියන්න හම්බ වුණේ නෑ. මට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලැබුණෙත් නෑ. විපක්ෂයේ සහයෝගය ලැබුණෙත් නෑ. 19 වන සංශෝධනයෙන් මගේ බලතල නැතිව ගියා. මම කැමැත්තෙන් තමා ඒ දේවල් දුන්නේ. නමුත් මම හිතුවේ නෑ බලය ගන්න අය වැරදි විදියට පාවිච්චි කරයි කියලා. ඒ නිසා ආණ්ඩුව සහ විපක්ෂය දෙගොල්ලෝම එකතු වෙලා මට පහරදුන්නා. ඊළඟට පාස්කු ආවා. අනිත් පැත්තෙන් පාස්කු ප්‍රහාරයේ සැබෑ ලෙසම කවුද කළේ කියලා කවුරුත් කියලා නෑ. මම දන්නවා කවුද කළේ කියලා. අධිකරණය ඉල්ලීමක් කළොත් නැත්නම් නියෝගයක් කළොත් ඇවිත් ප්‍රකාශයක් කරන්න. මම ලෑස්තියි පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා හෙළි කරන්න. අනිත් එක ඒක රහසිගතව තියා ගන්න එකත් ඒ විනිසුරුවරුන්ගේ කාර්යක් වෙනවා."
අස්ගිරි මහා විහාරයේ පැවැති මෙම අවස්ථාවට අස්ගිරි මහානායක අතිපූජ්‍යය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අනුනායක පූජ්‍ය වේඩරුවේ ශ්‍රී උපාලි, අනුනායක පූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමිවරු ප්‍රමුඛ ගිහි පැවිදි පිරිසක් එක්ව සිටියා.