
පාදුක්ක - අංගමුව ප්‍රදේශයේදී අද අලුයම සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ගුවන් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ගුවන් හමුදාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ගුවන් හමුදා රග්බි සංචිතයට අනුයුක්තව සේවය කළ ගුවන් හමුදා කෝප්‍රල්වරයෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පවසන්නේ.
අද අලුයම පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අංගමුව ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාර කටයුතුවල නිරතව සිටියදී පැමිණි අදාළ යතුරුපැදියකට නවත්වන ලෙස නියෝග කර තිබෙනවා.
කෙසේ වෙතත්, එහිදී අදාළ පුද්ගලයා පොලිස් අණ නොතකා යතුරුපැදිය ධාවනය කර ඇති අතර, ඔහු පොලීසිය දෙසට වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර ඇති බව සඳහන්.
එම අවස්ථාවේදී පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ආත්මආරක්ෂාව සඳහා වෙඩි තබා තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා පාදුක්ක රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු පසුව මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
පොලීසිය පැවසුවේ, එම පුද්ගලයා ඊයේ හොරණ - තල්ගහවිල ප්‍රදේශයේ සිදුවු ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු බවයි.