
ජාතික නිදහස් පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, යුතුකම ජාතික සංවිධානය හා ස්වාධීන මන්ත්‍රී සංසදය යන "සර්වජන බලය" එකමුතුවට අයත් දේශපාලන පාර්ශ්ව 07 යෝජිත විදුලි පනතට එරෙහිව අද පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවක නිරත වුණා.
"සර්වජන බලය" එකමුතුවේ නායකත්ව මණ්ඩලය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, 'යුතුකම' ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන යන මහත්වරු මෙම විරෝධතාවට එක්ව සිටියා.
නව විදුලි පනත මගින් විදුලිබල මණ්ඩලය අහෝසි කෙරෙන බවත් බාහිර රටවලින් විදුලිය මිලදීගැනීම සඳහා එම පනත මගින් ප‍්‍රතිපාදන සලසා ඇති බවත් විරෝධතාවට එක්වූවන් පෙන්වා දුන්නා.
ඒ අනුව ඉන්දියාවේ බලශක්ති පද්ධතිය සමග ශ‍්‍රී ලංකාවේ බලශක්ති පද්ධතිය ඒකාබද්ධ කිරීමේ හැකියාව ලැබෙන බවත් එවිට ශ‍්‍රී ලංකාවේ විදුලි පද්ධතියට ඉන්දියාවේ අනුකම්පාවට යටත්ව ක‍්‍රියා කිරීමට සිදුවන බවත් එම උද්ඝෝෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සර්වජන බලය දේශපාලන එකමුතුවේ නායකයින් වැඩිදුරටත් පැවසුවා.