/
/
title icon ළමා ලෝකය තුළ කාලය ඇති කළ වෙනසක අරුම
ළමා ලෝකය තුළ කාලය ඇති කළ වෙනසක අරුම
Kavindi Yaggahavita
2 months ago
Share:
ළමා ලෝකය තුළ කාලය ඇති කළ වෙනසක අරුම

ජීවන අවධිය තුළ කෙතරම් අවදි තිබුණද ළමා ලෝකය තරම් විචිත්‍රවත්, සුන්දර අවධියක් තවත්  නැත. සතුට උපරිමයෙන් විඳිමින් යුතුකම් සහ වගකීම් වලින් තොරව ගත කරන ළමා ලෝකය ඉතාමත් සරල ය. වයසින් මුහුකුරා යත්ම වැඩිහිටියන් බවට පත්වී සිටින්නවුන් වුව තමන්ගේ ළමා වියේ මතකය නොබෝ වාරයන්හි දී සිහි කරන්නේ ආයෙත් එකී කාලයට යන්නට ඇත්නම් ය'යි සිතනා සිතිවිල්ල ද සිත කොනක රදවා තබා ගෙන ය.

තාක්ෂණයේ දියුණුවත් සමග ලෝකය ගෝලීයකරණය වීමට මත්තෙන්  ළමා අවධියේ ජීවිතවල කෙතරම් නම් සතුට සොම්නස ගැබ්ව තිබෙන්නට ඇත්ද?

වර්තමාන වැඩිහිටි ප්‍රජාව අත්විඳි ළමා ලෝකය හා සැසඳීමේදී වර්තමාන ළමා පරපුර අත්විඳිනුයේ ඊට හාත්පසින්ම වෙනස් වූ ජීවිතයකි. අපගේ වැඩිහිටි පරම්පරාව ඔවුන්ගේ ළමා කාලයේදී තතු දැනගත්තේ පොතපතිනි, පුවත්පතිනි. සැණෙකින් යමක් දැනගත්තේ නම් ඒ ගුවන් විදුලියෙනි. අකුරු කරන ලද්දේ ගුරු ගෙදරිනි. ඔවුන්ගේ ළමා ලෝකයේ මතක සොඳුරුය. ඒවා ස්වභාවික පරිසරය සමඟද බද්ධ වී පවතී.

නමුත් වර්තමාන ළමා පරපුරට අනාගතයේදී ඔවුන්ගේ ළමා කාලය ආවර්ජනය කිරීමට යාමේදී ඉතිරිව ඇත්තේ සොඳුරු මතක අතලොස්සකි. ඇතැම් විට එසේත් නොමැති වීමට හැකියාවක් ඇත.

කොරෝනා වසංගතය හමුවේ මුළු ලෝකයම එක තැනක නතර වූ අවධියක නූතන තාක්ෂණයට ඉඩ හසර වෙන් වුණි. එහි බොහෝ ඵලදාත්මක දේ පවතින නමුත් අනෙක් අතට එහි අහිතකර ප්‍රතිවිපාක ද අත්විඳීමට සිදුව තිබේ. මේ සමයේ මාර්ගගත අධ්‍යාපනයෙහි පිබිදීමක් ඇති වු නිසාවෙන් ජංගම දුරකථනය, ළමා පරපුරට නැතුවම බැරි දෙයක් බවට පත් වූයේ ළමුන්ට අධ්‍යාපනය ලැබීමට ඇති එකම මාර්ගය මෙය වූ නිසාවෙනි. බොහෝ ආර්ථික දුෂ්කරතාවන්ගෙන් පෙලෙන පවුල්වල දරුවන්ට පවා බොහෝ නැති බැරිකම් මධ්‍යයේ වුවද ජංගම දුරකථනයක් රැගෙන දීමට ඔවුන්ගේ දෙමාපියන් පෙළඹුණි.

එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස ඇතැම් ළමුන් මෙය අනිසි ලෙස භාවිතයත් ඊට ඇබ්බැහි වීමත් හේතුවෙන් ඔවුන්ට ජීවිතයෙන් සමු ගැනීමට සිදු වූ පුවත් පවා පසුගිය කාල වකවානුව තුළ ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබුණි.

තරගකාරී ලෝකය හමුවේ වර්තමානයේ බොහෝ ළමුන්ට සිදුව ඇත්තේ බිත්ති හතරකට සීමා වී තිරයක් ඉදිරිපිට එසේත් නැතිනම් පරිගණකයක් හෝ ස්මාර්ට් දුරකථනයක් ඉදිරිපිට තම ජීවිතයේ හොඳම කාලය ගෙවා දැමීමටය.  ඒ හේතුව නිසාම ළමුන් සහ දෙමාපියන් අතර හා අනෙකුත් මිනිස් සබඳතා බිඳ වැටීම් වර්තමානයේ යම් යම් සිදුවීම් සමඟ පිබිදී එන තත්ත්වයකි. තම මවට පියාට, ගුරුවරුන්ට ගරු නොකරන ඇතැම් ළමා ක්‍රියාකාරකම් වර්තමාන සමාජ මාධ්‍ය හරහා වුවද නොඅඩුව දක්නට ලැබුණේ මේ නිසාවෙනි. එලෙස ඔවුන් තුළින් සංවේදීත්වය ගිලිහී ගොස් ඇත්තේ තාක්ෂණය අනිසි ලෙස වැළඳ ගැනීමත් සමඟය යැයි කීම වරදක් නොවේ.

අතීතයට සාපේක්ෂව සැසඳීමේදී වර්තමානයේ සෑම පැතිකඩක්ම නවීකරණය වීම සැබෑවකි. එලෙස නවීකරණය වන ලෝකය හමුවේ එකී නවීකරණයන්ට හුරුපුරුදුවීම වරදක් නොවේ. නමුදු  වර්තමාන ලාංකීය ළමා පරපුර එය අනිසි ලෙස වැළඳ ගැනීම නිසා අත්විඳින්නට සිදුව ඇත්තේ ඇත්තේ ඛේදනීය තත්ත්වයෙකි.

මෙම තත්ත්වයෙන් මිදීමට නම් වැඩිහිටියන්ගේ  අවධානය ළමුන් වෙත නොඅඩුව යොමු කරමින් ඔවුන්ට නවීන දෑ සීමාවකින් යුතුව වැළඳ ගැනීමට ඉඩ හසර වෙන් කළ යුතුය. එය ඇබ්බැහි වීමක් දක්වා ගමන් නොකළ යුතු අතරම  එසේ වුවහොත් වර්තමාන තත්ත්වයෙන් මිදී මෙරට අනාගතයෙහි සාධනීය වෙනසක් සිදුවනු ඇත.

සසිනි කාවින්දි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required