/
/
title icon සාම්ප්‍රදායික මාධ්‍ය රටාවේ වතගොත.
සාම්ප්‍රදායික මාධ්‍ය රටාවේ වතගොත.
Wasana Wickramasingha
2 months ago
Share:
සාම්ප්‍රදායික මාධ්‍ය  රටාවේ වතගොත.

පාරම්පරික සංස්කෘතිය සමඟ බැඳුණු, නව තාක්ෂණික මෙවලම් භාවිතයකින් තොරවූ , ගැමි ප්‍රජාව අතර  වඩාත් ප්‍රචලිතව පැවැති , සන්නිවේදන ක්‍රමවේද සමූහය සාම්ප්‍රදායික මාධ්‍ය ලෙස හඳුනාගත හැක.  මේවා සම්ප්‍රදායික සමාජය තුළින්ම උපත ලබා එම සමාජය තුළම මුල් බැසගත් , නියත කර්තෘත්වයක් හඳුනාගත නොහැකි සන්නිවේදන ක්‍රමවේද වේ.

ප්‍රාග් ඓතිහාසික යුගයේදී ශබ්ද සංඥා සහ දෘශ්‍ය සංඥා විධි භාවිතය බහුලව නිරීක්ෂණය කළ හැක . ඒ අතර  බෙර වැයීම , සක් හඬ නැගීම, හූ හඬ තැබීම, කොළ අතු එල්ලීම සහ සලකුණු සටහන් කිරීම වැනි ක්‍රියාකාරකම් විය.   සම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම රටකින් රටකට, ප්‍රදේශයකින් ප්‍රදේශයකට  ආවේණික වූ අනන්‍යතා ලක්ෂණ පෙන්නුම් කරයි. කෙසේ වෙතත් මේවායේ දැකිය හැකි පොදු ලක්ෂණ නම් පරිසර හිතකාමී බව සහ සරලත්වයයි.

තොරතුරු බෙදා ගැනීම , දැනුම වර්ධනය කර ගැනීම,  විනෝදය සහ විශ්‍රාන්තිය , සෙත් පැතීම, සමාජ සම්බන්ධතා වඩා වර්ධනය කර ගැනීම වැනි පොදු සහ පුද්ගලානුබද්ධ අරමුණු මත පදනම්ව ,  අවස්ථාවට හා අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයෙන් සම්ප්‍රදායික මාධ්‍ය විධික්‍රම හැඩගස්වා ගැනීමට පැරැණ්නෝ වග බලා ගත්හ.

සම්ප්‍රදායික මාධ්‍ය කාලයත් සමඟ ඉදිරියට ඇදෙද්දී නිර්මාණශීලීත්වය හා සංවිධානාත්මක බව ද ඊට මුසුවී ඇති අයුරු දැක ගත හැක. ජනකවි , ජනකතා , ශාන්ති කර්ම , ගැමිනාටක ආදිය ඊට නිදසුන් කිහිපයකි.                           
ජන කවි.                                                                                                                                                                          
මෙය මුඛ පරම්පරාගතව පැවත එන , සරල බස් වහරකින් නිර්මිත , ජනශ්‍රැතියක් ලෙසින් සැලකෙන,  සම්ප්‍රදායික මාධ්‍ය විධික්‍රමයකි.පොදු ජනතාවගේ ජීවන අත්දැකීම් පදනම් කර ගැනීම, ශබ්ද අලංකාර භාවිතය, සංයමයකින් යුක්ත වීම, අව්‍යාජත්වය, සහ සංක්ෂිප්ත බව  ජන කවිය සමඟ බැඳුණු සොඳුරු ලක්ෂණ වේ.

කමත් කවි , පාරු කවි , නෙළුම් කවි , රබන් කවි , තෙතඟු කවි , ගොයම් කවි , නෙළුම් කවි , දරු නැළවිලි , නෙළුම් කවි , ටීකා සීපද ආදිය ජන කවි සඳහා නිදසුන්ය.                                                                                               
දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම් 
මහවැලි ගඟේ දිය බැඳලා කෙතට ගිලුම් 
කොමළ ලියන් කර ඔසවා බලන බැලුම් 
තුන්පත් රටාවයි දුම්බර කෙතේ නෙළුම්                                                                                                                  (ගොයම් කවි)                                                                                                                                                                   
ගමන් යන්නෙ නැකතින් අඟුල පැද ගෙනා
සමන් දෙවියන්ට පට පඬුරු බැඳ ගෙනා
මෙවන් කළු ගඟේ කඳු මුල් බලා ගෙනා
අපිත් යමුව සැම දෙවියන්ට වැඳ ගෙනා.                                                                                                                 (පාරු කවි)


ජන කතා

ජන කවි සේම ජනකතා ද මුඛ පරම්පරාගත පැවැත ආ ,නිශ්චිත කර්තෘත්වයක් නොමැති නිර්මාණ කොට්ඨාශයකි .මේවා තුළින් නිරූපණය වන්නේ ඒ ඒ සමාජයන්හි ජන විඥානයේ ස්වභාවයයි. ලෝක සාහිත්‍යය ස්පර්ශ කිරීමේදී ද ප්‍රකට සහ ඉතා රසවත් ජනකතා බොහොමයක් අපට හමුවේ.දියුණු තාක්ෂණික මෙවලම් නොවූ යුගයක , ජන කතා යනු මිනිසුන්ට විවේකය හා විශ්‍රාන්තිය ලබා ගැනීමට සහ නිර්මාණාත්මක චින්තනය ඔප මට්ටම් කරගැනීමට මනා පිටුවහලක් වූ  ක්‍රියාකාරකමකි. එදිනෙදා ජීවිතයේදී මුහුණ දීමට සිදුවන අභියෝග ජයගැනීමට අවශ්‍ය කරන මග පෙන්වීම් රාශියක්ම ජනකතා ශ්‍රවණය තුළින් ලැබෙයි. එම නිසාවෙන් ජනකතා පාරම්පරික ඥානය පවරාදීමේ සන්නිවේදන මාධ්‍යයක් ලෙසින් ද විද්වතුන් හඳුන්වයි .

ලෝකයේ පවතින ජන කතා කාණ්ඩ රාශියක් ඔස්සේ වර්ග කළ හැක. ඒ අතර දේව කතා , අද්භූත කතා , උපහාස කතා , සුරංගනා කතා , සත්ව කතා , උත්පත්ති කතා ආදිය වේ.


ශාන්තිකර්ම .

අභිචාර , යාතුකර්ම , ඇදහිලි , විශ්වාස යන නම් වලින් ද හැඳින්වෙන මෙම ශාන්ති කර්ම "ජනශ්‍රැති විද්‍යාව" යටතට ගැනෙයි. යම් යම් අදෘශ්‍යමාන වස්තූන් ඇමතීම හා ඒවායින් පිහිටක් ලබා ගැනීම අරමුණු කොටගෙන මෙම පූජා කර්තව්‍යයන් වර්තමානයේදී ද පැවැත්වේ. තවද සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කිරීම ,ගොවිතැන් කටයුතු සාර්ථක කර ගැනීම , වසංගත යෝග උපද්‍රව වලින් අත්මිදීම , අපල උපද්‍රව වලින් අවම කරගැනීම ආදිය මෙකී ශාන්ති කර්ම හා යාතු කර්ම පැවැත්වීමේ අභිලාෂයන්ය.

සරල හා හාස්‍යෝත්පාදක සංවාද , වෙස් මුහුණු පැළඳීම , රංගනය , වාදනය , නර්තනය, සැලසිලි , මෙම විධික්‍රමය හා බැඳුණු මෙවලම් ය.

කොහොඹා කංකාරිය , දෙවොල් මඩු  , පහන් මඩු , කඩවර කංකාරිය , වලියක් මංගල්‍යය සහ බලි ශාන්තිකර්මය මීට  නිදසුන් කිහිපයකි.

 

ගැමි නාටක.

මෙය යම්කිසි කතා පුවතක් මත පදනම් වූ ප්‍රබල සන්නිවේදන අවස්ථා ජනනය කරන කලා අංගයකි. අපල උපද්‍රව වලින් ආරක්ෂාවීම , ලෙඩ රෝග වසංගත වළක්වා ගැනීම , සශ්‍රීකත්වය උදාකර ගැනීම , විනෝදාස්වාදය ලබා ගැනීම , සෙත් ශාන්තිය උදාකර ගැනීම වැනි අරමුණු හේතු කොටගෙන ගැමි නාටක රඟ දැක්වීය.සොකරි , කෝලම් , රූකඩ ,නාඩගම් යනු මෙරට සුප්‍රකට ජනනාටක කිහිපයකි. අතීතයේදී රංග භූමිය ලෙස භාවිතා කර ඇත්තේ ගොයම් කපා අවසන් වූ කමත්ය.                                                                                                                      
මෙම සම්ප්‍රදායික මාධ්‍ය අතීතයට පමණක් සීමා වූවක් නොව වර්තමානයේදීද ජන මනස පුබුදුවාලීමට සමත්  විධික්‍රමයන්ය.දැනුම් ඉගෙනුම් සම්පාදනය , සාරධර්ම වටිනාකම් ජනගත කිරීම, ජීවන අත්දැකීම් හුවමාරු කර ගැනීම, සිරිත් විරිත් ඉදිරි පරම්පරාව වෙත දායාද කිරීම, සමාජ ආර්ථික සංසිද්ධි වලට ආමන්ත්‍රණය කිරීම ,  කාන්සිය සහ මහන්සිය නිවා ගැනීම වැනි  යහපත් අපේක්ෂාවෙන් සඵල කර ගැනීමට මෙම සම්ප්‍රදායික මාධ්‍ය විධික්‍රම හරහා ලැබෙන දායකත්වය ඉමහත්ය. එබැවින් සම්ප්‍රදායික මාධ්‍ය සතු හරය ඉදිරි පරම්පරාවන්ට ද දායාද කරලීම  අප සතු සමාජ වගකීමකි.

වාසනා වික්‍රමසිංහ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required