/
/
title icon සොබාදහම වැළඳගන්න.
සොබාදහම වැළඳගන්න.
Wasana Wickramasingha
4 months ago
Share:
සොබාදහම වැළඳගන්න.

තුරු පත් සෙලවෙන හඬට, මියුරු සියොත් නදට , පොද වැස්සට ,  හිමිදිරියේ නැගෙන හිරු කිරණට , රාත්‍රී අහසේ තරු රටාවලට ,සවස් යාමේ අහස් කුස මැවෙන වර්ණ සොබාවට පෙම්බඳින මිනිසුන් කෙතරම් සුන්දරද ? කුඩා කාලයේදී දරුවන් තම අවට පරිසරය දෙස බලන්නේ  නිමක් නැති කුතුහලයකිනි. එම කුතුහලය ඔස්සේ ගමන් කරමින් ඔවුන් සිත් සේ පරිසරය විඳ ගත්ත ද වයසින් මුහුකුරා යන විට සමාජ තරඟකාරීත්වය විසින්  එම සොඳුරු මිනිසාව ගිල ගනියි. වර්තමානයේදී අප ගත කරන කාර්යබහුල ජීවන රටාව අතරතුර , අවට පරිසරය රස විඳීමට ද  යමෙකු කාලයක් වෙන්කර ගනී  නම් ඒ ඔස්සේ ඔහුට හෝ ඇයට ලැබෙන ප්‍රතිලාභ මිල කළ නොහැක.                  
කායික සෞඛ්‍ය තරමටම  මානසික සෞඛ්‍ය ද වැදගත් ය.පර්යේෂණ වලින් පෙන්වා දෙන ආකාරයට  සතියකට අවම මිනිත්තු 120 ක කාලයක් සොබා දහම සමඟ ගත කිරීම හරහා මානසික යහ පැවැත්මට ඍජු දායකත්වයක් ලැබෙයි.මානසික පීඩනය අවම කර ගැනීමට , මනසේ පවතින කලබලකාරී ගතිය සමනය කර ගැනීමට , සිතේ පවතින කනස්සල්ල සහ කාන්සිය මඟහරවා ගැනීමට එය උපකාරී වේ. තවද මතකය වර්ධනය කර ගැනීමට, අවධානය තීව්‍ර කර ගැනීමට, නිර්මාණාත්මක චින්තනය වර්ධනය කර ගැනීමට ඉවහල් වේ.

විවිධ මානසික ව්‍යාකූලතා සමග පොර බදන පිරිස් හට සොබා දහම විසින් නිරන්තර අස්වැසිල්ලක් සැපයුවද එය ලබා ගැනීමට නම් ඔවුන් ද පරිසරය සමඟ වඩාත් සංවේදී විය යුතුය. දියුණු රටවල්වල පවත්නා රෝහල්වල රෝගීන්ගේ කාමර වලට පිටතින් , හරිත වර්ණ පරිසරය දර්ශනය වීමට සලස්වා ඇති අයුරු දැක ගත හැක. මනස තුළ නැගෙන සෘණාත්මක සිතුවිලි වළක්වා ගැනීමට මිනිත්තු අනූවක පරිසර සංචාරයකට වුවද හැකියාව ඇති බව  මනෝ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

වර්තමානයේ ලොව ප්‍රීතිමත් ම ජීවිත ගත කරන  මිනිසුන් සිටින රට ෆින්ලන්තය යි. එරට 70% ක් පමණ භූමි ප්‍රදේශයක් වෘක්ෂ වලින් ආවරණය වී  ඇති අතර තවත් 10% ක භූමි ප්‍රදේශයක් ජලාශවලින් සමන්විත වේ. බහුතර පින්ලන්ත වැසියන් එම පරිසරයට දැඩි සේ ආදරේ කරයි. ඔවුන් තම රටේ වන සම්පත තිරසාර ලෙස කළමනාකරණය කිරීමට පවා විධිවිධාන යොදා ඇත. එරට  වැසියන් දවසේ බොහෝ කාලයක් ගත කරන්නේ එළිමහනේ ය. විවේක කාලය ගත කිරීමට වුවද කඳු නැගීම, එළිමහන් කඳවුරු බැඳීම , පරිසරය උද්‍යාන වල නිදහසේ ඇවිද යාම වැනි ක්‍රියාකාරකම් තෝරා ගනී.

පරිසරය සියල්ලන්ටම සලකන්නේ එකම ආකාරයකිනි. වත් පොහොසත්කම් එයට අදාළ නොවේ. පරිසරය විඳගැනීමට  මුදල් වැය නොවේ. ගිහි ජීවිතය අතහැර ආධ්‍යාත්මික සැනසුම සොයා යන පැවිදි උතුමන්ට ද  නිහඬ සොබා දහම ආශිර්වාදයකි. භාවනායෝගී භික්ෂූන් පවා තම මානසික ඒකාග්‍රතාවය වර්ධනය කර ගැනීම පිණිස වනගත පෙදෙස් තෝරාගන්නේ එබැවිනි.

කොළ පැහැය පිළිබඳව පවතින මනෝවිද්‍යාත්මක හැදෑරීම ඉතා රසවත් ය. එම පැහැයට මිනිස් සිත තුළ  සැනසිලිදායක බවක් ජනිත කළ හැක. ඇතැම් වෛද්‍යවදරුන් පවා තම කාර්යාල පසුබිමට කොළ වර්ණය ආලේප කරන්නේ එබැවිනි. මොළයේ පවතින විසිරුණු ස්වභාවයට සමබරතාවයක් එක් කිරීමට හරිත වර්ණයට හැකියාව ඇත.

උදෑසන කාලයේදී පාවහන් භාවිතා නොකර තණකොළ මත ඇවිද යාමට හැකි නම් , ඒ හරහා ආහාර ජීර්ණය , හෝමෝන ක්‍රියාකාරීත්වය , ශරීර උෂ්ණත්වය  සේම ඇතැම් පිළිකා තත්ත්ව  පාලනය කර ගැනීමට හැකිවේ. එසේම  ස්නායු පද්ධතිය උත්තේජනය වීම හරහා ශරීරය පුරා ලේ ගමනාගමන ක්‍රියාවලිය  වඩා යහපත් කරවා ගත හැක.

විද්‍යාඥයන්ගේ මතයට අනුව උදෑසන හිරු එළියට අවම වශයෙන් විනාඩි දහයක කාලයක් නිරාවරණය වීමට හැකිනම් ඒ ඔස්සේ සමේ රෝග , හිස කෙස් ගැලවී යාම , හෝමෝන අසමබරතා , අස්ථි දුර්වලතා මඟහැර , ප්‍රතිශක්තීකරණ පද්ධතිය වඩාත් ශක්තිමත් කරවා ගැනීමට හැකියාව ලැබේ.

ඒ සියල්ල පිළිබඳව සිතා බැලීමේදී පැහැදිලි වන්නේ සුන්දර පරිසරය මිනිසාට අසමසම රැකවරණයක් බවයි.
සොබාදහමේ එම අමිල රැකවරණය ලබා ගැනීමට නම් ප්‍රථමයෙන් අප සොබාදහමට ආදරය කළ යුතුය. සෙවන දුන් ගසක අත්තක් කඩා දැමීම පවා මිත්‍රද්‍රෝහී ක්‍රියාවක් බව බුදුසමය  පෙන්වා දෙයි. වැදගත්ම කරුණ නම් , මිනිසා යනු කොන්ක්‍රීට් නගර තුළ මං මුලා වූවෙකු නොව ආදරණීය සොබා දහමටම අයිති තවත් එක් සොඳුරු නිර්මාණයක් බව වටහා ගැනීමයි.

වාසනා වික්‍රමසිංහ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required