/
/
title icon මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය.
මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය.
Wasana Wickramasingha
2 months ago
Share:
මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය.

ශ්‍රී ලංකාවේ බලයට පත් වූ ආණ්ඩු විසින් මෙරට ආර්ථිකය නගා සිටුවීම පිණිස අරඹන ලද විශාලතම දිගුකාලීන බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය වන්නේ මහවැලි යෝජනා ක්‍රමය යි.සමනල කන්දෙන් ආරම්භ වී ත්‍රිකුණාමලයෙන් මුහුදට ගලා බසින ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වන මහවැලිය හරස් කොට , එම ජලය රටේ ආර්ථික දියුණුව උදෙසා ක්‍රමවත්ව යොදා ගැනීම මෙහි මූලික පරමාර්ථය විය. ඒ යටතේ,

නව ජනාවාස ඉදිකිරීම
වී ගොවිතැන ඇතුළු අනෙකුත් කෘෂිකාර්මික කටයුතු නගා සිටුවීම                                                                   විදුලිය උත්පාදනය කිරීම
මිරිදිය මසුන් බෝ කිරීම
ගංවතුර පාලනය

යනාදි උප අරමුණු ද විය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේදී මීට අදාල මහා සැලැස්ම සැකසිණි. ඒ ශක්‍යතා අධ්‍යයන කටයුතු රාශියකින්ම අනතුරුව ය.

මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට , ප්‍රථම පියවර ලෙස 1970 දී මහවැලිය හරහා වේල්ලක් බැඳ පොල්ගොල්ල ව්‍යාපාරය ආරම්භ කරන ලදී.එමගින් කලා වැව , නාච්චදූව වැව , නුවර වැව , තිසා වැව සහ තවත් වැව් කිහිපයකටම ජලය ලබා ගැනීමට අපේක්ෂා කෙරිණි.

 

කඩිනම් මහවැලි සංවර්ධන ක්‍රමය.

මුල් කාලයේදී තිස් වසරකින් නිම කිරීමට බලාපොරොත්තු වූ මහවැලි යෝජනා ක්‍රමය , පසුව සය වසරකින් නිම කිරීමට ජේ.ආර් ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු රජය තීරණය කිරීය. එය මෙම ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය විය.ඒ අනුව මනා සැලැස්මකින් යුතු කඩිනම් වැඩ පිළිවෙලක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය විය.1978 මහවැලි සංවර්ධන අමාත්‍යාංශය පිහිටුවා , එම අමාත්‍යාංශයේ කටයුතු ගාමිණී දිසානායක මහතාට භාර කෙරිණි. තවද , මෙහි ප්‍රධාන ඉංජිනේරුවරයා වශයෙන් ඒ.එන්.එස් කුලසිංහ මහතා පත් කෙරිණි.

මෙම කඩිනම් මහවැලි සංවර්ධන ක්‍රමය යටතේ ,

වික්ටෝරියා ජලාශය
රන්දෙනිගල ජලාශය
රන්ටැඹේ ජලාශය
කොත්මලේ ජලාශය
උල්හිටිය ජලාශය
රත්කිඳ ජලාශය
මාදුරු ඔය ජලාශය

යනාදී විශාල ජලාශ යෝජනා ක්‍රම රාශියක්ම ආරම්භ විය. එම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ස්වීඩනය , බ්‍රිතාන්‍ය , ජර්මනිය , කැනඩාව වැනි රටවල් රාශියකින් ආධාර උපකාර හිමි විය.

මහවැලි ගඟේ පොල්ගොල්ල බැම්මට මඳක් පහළින් වේල්ලක් ඉදිකොට වික්ටෝරියා ජලාශය තනා ඇත.විදුලි බලය ජනනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.වික්ටෝරියා වේල්ල ඉදිකිරීම සඳහා මහා බ්‍රිතාන්‍යයෙන් රුපියල් කෝටි 400ක පමණ ආධාර එකල ලබා දී ඇත. වික්ටෝරියා වේල්ල ශ්‍රී ලංකාවේ උසම වේල්ල යි. දෙපසම ආරුක්කු හැඩයෙන් යුක්තව ඉදිවී තිබීම එහි තවත් විශේෂ ලක්ෂණයකි. වේල්ල ඉදිකිරීම සඳහා දිනකට සිමෙන්ති කවර තිස්දහසක් පමණ උපයෝගී කරගැනීමට සිදුව ඇත.මෙම වික්ටෝරියා ව්‍යාපාරය ඔස්සේ අක්කර එක් ලක්ෂ විසිපන් දහසක පමණ කෙත් බිම් ප්‍රමාණයකට ජලය සැපයීමට ද අදහස් කර ඇත.

ජර්මන් ආධාර යටතේ , වික්ටෝරියා ජලාශයට පහළින් සහ මිනිපේ අමුණට  ඉහළ ප්‍රදේශයේ රන්දෙණිගල ජලාශය ඉදිකර ඇත.විදුලි බලය නිපදවීම සහ වාරි මාර්ගවලට ජලය ලබා ගැනීම එහි අරමුණ වී ඇත. එසේම , කොත්මලේ ජලාශය ස්වීඩන් රජයේ ආධාර මත , මහවැලි ගඟේ අතු ගංඟාවක් වන කොත්මලේ ඔය හරස් කොට වේල්ලක් ඉදි කර තනා ඇත.

මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ අවසාන ජලාශ ව්‍යාපෘතිය ලෙස උතුරු මැද , පදවිය සහ උතුරු ප්‍රදේශ වලට ජලය ගෙන යාම පිණිස මොරගහකන්ද ජලාශය ඉදි කළ යුතුව තිබිණි.නමුත් එය බොහෝ කලක් ප්‍රමාද විය. කෙසේ හෝ වසර ගණනාවකට පසු 2007 වර්ෂයේ ජනවාරි 25 වන දින ජලාශය ඉදිකිරීමට මුල් ගල
තබන ලදී. නමුත් නැවත වරක් එම ඉදිකිරීම් කටයුතු අකාර්යක්ෂම විය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සමයේදී මෙම ව්‍යාපෘතිය යළි සක්‍රිය තත්ත්වයට පත් විය.ජපන් රජයේ ආධාර යටතේ ඉදිවූ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය  2018 වර්ෂයේදී ජනසතු කෙරිණි.ඒ අනුව මෙම නව මොරගහකන්ද ව්‍යාපෘතිය හරහා ද අනුරාධපුරය , පොළොන්නරුව , මාතලේ ,  කුරුණෑගල , ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල ගොවිතැන් කටයුතු වලට වර්තමානයේදී සෙත සැලසී ඇත.අක්කර ලක්ෂ තුනක් පමණ අස්වැද්දීමේ හැකියාව ජනතාවට ලැබී ඇත.

අඩ සියවසකට ආසන්න කාලයක් පුරාවට ක්‍රියාත්මක වූ මෙම දැවැන්ත මහවැලි ව්‍යාපෘතිය දේශීය සහ විදේශීය විශාල පිරිසකගේ කැපකිරීම් වල ප්‍රතිඵලයකි.එය අතීත , වර්තමාන , අනාගත යන තුන් කාලයම ඵලදායී කරවීමට සමත් විශිෂ්ට සංවර්ධන ව්‍යාපෘතියකි.

වාසනා වික්‍රමසිංහ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required