බලිය යන පදයෙහි අරුත "පිදීම" නැතහොත් "පූජාව" යන්නයි.බලි ශාන්ති කර්මය උඩරට , පහතරට , සබරගමු යන සම්ප්‍රදායන් තුනෙහි ම දැකගත හැකි ශාන්ති කර්මයකි.මෙකී සම්ප්‍රදායන්ට අයත් බලි ශාන්ති කර්මයන්හි බොහෝ සමානත්වයන් දැකිය හැක. එනමුත් ගායනය සඳහා යොදා ගනු ලබන නාද මලා , චාරිත්‍ර විධි සහ වාදන භාණ්ඩ එකිනෙකට වෙනස් ය.ග්‍රහ බලපෑම් සඳහා සිදුකරන ප්‍රධානතම ශාන්ති කර්මය මෙය වන අතර නොයෙකුත් අපල උපද්‍රව වළක්වා ගැනීම , දරුවන් ලැබීමට සිටින කාන්තාවන් හට සෙත් පැතීම වැනි අරමුණු මූලික කොට ගෙන ද මෙම ශාන්ති කර්මය පවත්වයි.
බලි ශාන්ති කර්මයක් පැවැත්වීමට නියම කරන්නේ ජන්ම පත්‍රය පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ය. රෝගාතුරයාට ඇති අපලයේ ස්වභාවය අනුව කවර බලියක් කළ යුතු දැයි නියම කෙරේ.සියලුම ව්‍යාධි සඳහා බ්‍රහ්ම බලියත් , චර්ම රෝග සඳහා උමයංගන බලියත් , මානසික රෝග සඳහා සිව වටුක බලියත් , ආදී වශයෙන් විවිධ බලි කර්මයන් ඇත. අංග සම්පූර්ණ බලි යාගයක් පුරා දින තුනක් පමණ පැවැත්වේ.
අතීතයේදී බලික්‍රම 84,000 ක් පමණ පැවැති බව කියැවේ. කෙසේ වුවද වර්තමානයේදී ප්‍රචලිතව පවතින්නේ ප්‍රධාන බලි ක්‍රම 35 කි. නිදසුන් ලෙස අත් බලි , රාශි බලි , රූප බලි ,අෂ්ට බලි , ප්‍රතිමා බලි , කල්‍යාණ බලි ආදිය ගත හැක.
බලියාග ක්‍රම ප්‍රධාන වශයෙන් ඇඹුම් බලි සහ රූප බලි වශයෙන් කොටස් දෙකකට වර්ග කළ හැක. ඇඹුම් බලි නිර්මාණය සඳහා තුඹස් මැටි ස්ථාන නමයකින් රැගෙන , එකට මුසුකර , අනා පදම් කර ගනී. ඉන්පසු එම මැටි බලිය ඇඹීමට පෙර පේකර ගැනීමක් ද සිදුකරයි. රූප බලි වශයෙන් හඳුන්වන්නේ රෙද්දක හෝ කැන්වසයක සායමින් අඳින ලද රූපයි.බලි යාගය සිදු කරන ඇඳුරා ද හැකියා රාශියකින් යුක්ත අයෙකි. ඔහුට ගායනය, නර්තනය, චිත්‍රණය, ඇඹීම, නෙළීම, ආදී හැකියා රැසක් ඇත.
විශේෂයෙන් බලියාගයේදි ගායනයට මුල් තැනක් ලැබේ. බලි ශාන්ති කර්මය සමග බැඳුනු ගීත සාහිත්‍ය විශාල ප්‍රමාණයක් වේ. මෙම ගායනාවන් විවිධ තාල රූප වලින් හා මිහිරි නාද මාලාවන්ගෙන් යුක්ත ය. අෂ්ඨක ගායනා, ග්‍රහ පන්ති කවි , කඩතුරා කවි , බලි මඩුපුරය , ඇඹුම් කවි ප්‍රධාන ගායනා වේ.බලියාග සඳහා උඩරට සම්ප්‍රදාය තුළ භාවිතා කරන්නේ ගැටබෙරය , තාලම්පට සහ අත්මිණිය යි. පහතරට සම්ප්‍රදාය තුළදී යක් බෙරයත් සබරගම සම්ප්‍රදායේදී දවුලත් යොදා ගනී.
බලි ශාන්ති කර්මයට පෙර සඳුන්,කිරි පැන් ඉස යාග භූමිය පවිත්‍ර කර ගනී. බලියාගය පවත්වෙන රඟමඬල උඩට උඩු වියන් බැඳ කොළ අතු එල්ලා සැරසිලි කොට අලංකාර කර ගත යුතුය. බලි මණ්ඩපයේ සිව් කොණ පුන්කළස් දැකගත හැක. තවද කණු දෙකක් සිටුවා ඒ හරහා දන්ඩක් බැඳ බලි රූප සිටුවා තබනු ලැබේ.බලි ශාන්ති කර්මය හා බැඳි චාරිත්‍ර බොහොමයක් වේ. බලි මඩුව තැනීමට ප්‍රථම බලි කප් සිටුවීම, දින නියම කිරීම, බලි මැස්ස තැනීම, බලි ඇඹීම සඳහා මැටි සොයා ගැනීම, මැටි පේ කිරීම, බලි ඇඳුරා සහ අනෙකුත් ඇඳුරන් යාගයට පේ වීම,නමස්කාර ශ්ලෝක ගායනා කිරීම , බලි වලට දුම් ඇල්ලීම ආදිය ඊට නිදසුන් කිහිපයකි.
විජය , නිශ්ශංකමල්ල , ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ වැනි රජවරුන් උදෙසා ද අතීතයේදී බලි යාග පවත්වා ඇත.මෙලෙස පාරම්පරික සංස්කෘතිය තව තවත් අර්ථ පූර්ණ කළ, ප්‍රාදේශීය විවිධත්වයන්ගේ විචිත්‍රත්වය කැටි වුණ, දේශීය බලි ශාන්ති කර්මය රැක ගැනීම සහ ඉදිරි පාරම්පරාවන්ට ද දායාද කරලීම කලාව සහ සංස්කෘතිය අගයන අප සැමගේ යුතුකමකි.
වාසනා වික්‍රමසිංහ