/
/
title icon ක්‍රීඩාවේ උපන් හපන්කම්.
ක්‍රීඩාවේ උපන් හපන්කම්.
Wasana Wickramasingha
3 months ago
Share:
ක්‍රීඩාවේ උපන් හපන්කම්.

ටිම් නොට්කෙ නමැති ක්‍රීඩා උපදේශකවරයා පවසන අන්දමට, අපට යම් ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට  අවශ්‍ය නම් , එයට හැකියාව පමණක්  ප්‍රමාණවත් වන්නේ නැහැ. වෙහෙස මහන්සි වී සිදු කරන නිරන්තර පුහුණුවීම් සහ කැපකිරීම් ද අත්‍යවශ්‍ය සාධක වෙනවා.මෙවර අප කතා කරන්නට සූදානම් වන්නේ එලෙස තම ජයග්‍රහණ පසුපස හඹා ගොස්, අඛණ්ඩව පුහුණුවීම් සිදුකොට , එකී ජයග්‍රහණ සාර්ථකව තමා සතු කර ගැනීමට සමත් වූ, මල්ලවපොර ක්‍රීඩා ක්ෂේත්‍රයේ අතිදක්ෂයෙකු සමඟයි.

ඔහු නමින් සුලක්ෂණ ලංකාතිලක. ක්‍රීඩාව පමණක්ම නෙවෙයි, තම අධ්‍යාපන කටයුතුත් සාර්ථකව සිදු කර ගනිමින්, මේ වන විට ඔහු ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ, ක්‍රීඩා විද්‍යාව හා ශරීරික අධ්‍යාපන අධ්‍යයන අංශයේ අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටිනවා.


ඉතින්,ආයුබෝවන් කියලා ඔබව අද කතාබහට පිළිගන්නවා.
මුලින්ම ඔබ ක්‍රීඩා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ කොහොමද කියන තැනින්, අපි කතාබහ ආරම්භ කරමු.

ඔව්. ඇත්තටම මම පාසල් අධ්‍යාපනය ලබන්නේ මිනු/ මාරපොල ජාතික පාසලෙන් . එම පාසලෙන් තමයි මල්ලවපොර  ක්‍රීඩාවට අත්පොත් තබන්නේ. ඇත්තටම මෙතරම් දුර ගමනක් එන්න හිතාගෙන නෙවෙයි මම මුලින් ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නේ. ඒ කාලේ යාළුවෝ ක්‍රීඩා කරනවා දැකලා ඇතිවෙච්ච ආසාව නිසා තමයි මේ ක්‍රීඩාව පිළිබඳව උනන්දුවක් ඇති වෙන්නේ.
ඒ ආපු මුල් කාලෙදිම ආධුනික තරඟ වලට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. පියවරෙන් පියවර ඒ තරඟවලින් ජයග්‍රහණ ලබද්දී මල්ලවපොර  පිළිබඳව ඇතිවුණ උනන්දුව තව තවත් වැඩි වෙන්න ගත්තා. ඊට අමතරව දුර පැනීම,මැරතන් තරඟ සහ වොලිබෝල් වගේ ක්‍රීඩාවලටත් යොමු වුණා.ජයග්‍රහණ හිමිකර ගත්තා.ඒ ලබා ගත්ත ආරම්භය අද මට ආශිර්වාදයක් වෙලා තියෙනවා.


ඔබ ඒ අයුරින් පාසල් අධ්‍යාපනය ලැබූ කාලවකවානුවේ පටන් මේ දක්වා  ක්‍රීඩා  ජයග්‍රහණ බොහොමයක් දිනාගෙන තියෙනවා. ඒ ජයග්‍රහණ පිළිබඳවත් කෙටියෙන් මතක් කරමු.

ඔව්. මට 2014, 2015, 2018 සහ 2019 වර්ෂවල සමස්ත ලංකා පාසල් මල්ලවපොර ශූරතා තරඟ වලින් ප්‍රමුඛ ස්ථාන ලබා ගැනීමට හැකි වුණා.ඒ වගේම, 2019 වර්ෂයේ පැවැති කනිෂ්ඨ ජාතික මල්ලවපොර ශූරතාවලියෙන් තෙවැනි ස්ථානයත් , 2022 වර්ෂයේ පැවැති අන්තර් විශ්වවිද්‍යාලයීය මල්ලවපොර ක්‍රීඩා තරගාවලියේ - 57 බර පන්තිය යටතේ රන් පදක්කමත් ලබා ගන්නට පුළුවන් වෙනවා.  2023 වර්ෂයේ පැවති ජේෂ්ඨ ජාතික සුමෝ ශූරතාවලියෙන් තෙවන ස්ථානයත්, එම වසරෙදිම පැවති, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා - මල්ලවපොර ශූරතාවලියේ රන් පදක්කමත් ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබෙනවා.


හොඳයි. ඒ වගේම සඳහන් කරන්න ඕනේ, මේ ගමන් මඟෙදි ඔබ සතු නායකත්ව කුසලතා ඔපමට්ටම් කර ගන්නත් නොයෙක් වටිනා අවස්ථා හිමි වෙනවා . එහෙම නේද?

අනිවාර්යෙන්ම. විශේෂයෙන් පාසල් කාලයේදී පාසලේ ප්‍රධාන ක්‍රීඩා නායකයා ගේ භූමිකාව  වෙනුවෙන් කැප වෙන්නට හැකියාව ලැබුණා. පාසල් මල්ලවපොර සංගමයේ නායකත්වය ද වසර තුනක් දැරීමට හැකියාව ලැබුණා. මේ වන විට විශ්වවිද්‍යාලයීය මල්වපොර කණ්ඩායමේ නායක ලෙස කටයුතු කරනවා. ඉතින් ඒ හැම අවස්ථාවක් තුළින්ම මට ලැබෙන අත්දැකීම් පිළිබඳව මං තෘප්තිමත් . මම දකින්නේ ජීවිතේ අපට ලැබෙන අවස්ථා සීමිතයි. ඒ නිසාම ඒ අවස්ථා ගොඩක් වටිනවා .


කුඩා කාලයේදී ම ක්‍රීඩාවට අවතීර්ණ වූවෙකු ලෙස, ක්‍රීඩාවෙන් පුද්ගලයෙකුගේ කායික , මානසික යහපැවැත්ම වර්ධනයට සිදු වන බලපෑම ගැන, ඔබ හොඳින්ම දන්නවා ඇති. විශේෂයෙන් ශිෂ්‍ය ජීවිතයට ක්‍රීඩාව තුළින් ලැබෙන ඒ පන්නරය මොන වගේද?

මං හිතන්නේ ක්‍රීඩාවට පුළුවන් අපේ ජීවිතය සමබරව පවත්වාගෙන යන්න ලොකු සහයෝගයක් දෙන්න. ක්‍රීඩාව කියන්නේ ශරීරය වෙහෙසවා කරන දෙයක් පමණක්ම නෙවෙයි .විශාල මානසික ශක්තියක් ද අවශ්‍යයි. ක්‍රීඩා කටයුතු කරන ළමයෙක් සහ  අධ්‍යාපනයට පමණක් සීමා වූ ළමයෙක් අතර මං ප්‍රබල පෞරුෂ වෙනස්කම් දකිනවා.ක්‍රීඩාව හරහා කණ්ඩායම් හැඟීම, ඉවසීම, අවස්ථාවට අනුව තීරණ ගැනීමේ හැකියාව, පරාජයන් වලට සාර්ථකව මුහුණ දීම, ජයග්‍රහණය දරා ගැනීම, අවදානය පවත්වා ගැනීම වගේ ගොඩක් කුසලතා වර්ධනය වෙනවා. පසු කාලීනව වැඩිහිටියෙක් ලෙස අපි සමාජගත වෙද්දී, ඒ විදිහට ක්‍රීඩාව තුළින් ලබා ගත්ත කුසලතාවල තියෙන වටිනාකම වැටහෙන්න ගන්නවා.

 

අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි අ.පො.ස උසස් පෙළ කඩයිම ජයගෙන විශ්වවිද්‍යාල වරම් ලැබීමටත් ඉගෙනීම් කටයුතුවල දක්ෂයකු විය යුතුමයි.එය එතරම් පහසු කඩඉමක් නෙවෙයිනෙ. ඉතින්, වර්තමානයේ පාසල් අධ්‍යාපනයේ නිරත දරුවන්ට, තමන්ගේ විෂය සමගාමී සහ විෂය බාහිර කටයුතු සමබරව කළමනාකරණය කර ගෙන යන්නට, ඔබට දෙන්න  පුළුවන් උපදෙස කුමක්ද?

ඔව් .කාලය කියන දේ තමා මෙතනදි අපි බුද්ධිමත් විදිහට කළමනාකරණය කරගන්න ඕනෙ. ක්‍රීඩා කටයුතු කරද්දී මම මගේ අවධානය සියයට සීයක් ක්‍රීඩාව වෙත යොමු කරනවා. ඒ වගේමයි අධ්‍යාපන කටයුත්තු කරද්දීත් මං මගේ අවධානය  ඒ අදාළ වැඩ කොටසට පමණක් යොමු කරනවා. මට මතකයි මම පාසලේ වාර විභාග ළං වෙද්දි ක්‍රීඩා කටයුතුවලින් මදක් ඈත් වෙනවා. එවිට මගේ මනස පහසුවෙන් අධ්‍යාපන කටයුතු වලට යොදවන්න පුළුවන් වෙනවා. යම් අවස්ථාවක මගේ අවධානය බිඳී යද්දි, නැවත සිත ශක්තිමත් කරගැනීම සඳහා පොත් කියවීම, කවී ලිවීම වැනි විනෝදාංශ වල යෙදෙනවා. ඒ තුළින් මනස තවත් සැහැල්ලු කරගැනීමට හැකියාව ලැබෙනවා. දෙමව්පියෝ දරුවන්ව ක්‍රීඩාවෙන් ඈත් කළ යුතු වන්නේ නැහැ. ඇත්තටම ඔවුන් කරන්න ඕනේ, අධ්‍යාපන කටයුතු සහ විෂය බාහිර කටයුතු නිවැරදිව කළමනාකරණය කර ගැනීමට දරුවන්ට  අවශ්‍ය සහයෝගය ලබාදීම.


මේ ආ ගමන් මගේදී, අභියෝග රාශියක්ම ඔබ වෙත පැමිණෙන්නට ඇති. ඉතින් ඒ ගැනත් අපි සිහිපත් කරමු.

පැමිණි මාර්ගය ඇත්තටම ලේසි පහසු ගමනක් වුණේ නැහැ මට. ඔබ කිව්වා වගේ අභියෝග රාශියක් තිබුණා. විටෙක ජීවිතයේ අභියෝග ජයගැනීමට පහසුයි තවත් විටෙක ආයාසයක් ගන්න වෙනවා.කැප කිරීම් කරන්න වෙනවා.

මට මතකයි 2014 වර්ෂයේදී ක්‍රීඩා කටයුතු වගේම අධ්‍යාපන කටයුතුත් සම්පූර්ණයෙන්ම අඩාල වුණා. ඒ වෙද්දි මගේ වයස අවුරුදු දාහතරක් වගේ.ඒකට හේතුව වුණේ මගේ පියා දැඩි රිය අනතුරකට ලක්වීමත් මව සහ මල්ලි ඩෙංගු රෝගය වැළඳී රෝගාතුර වීමත්. ඉතින් ඒ අවස්ථාවේදී ඒ තිදෙනාගේම  බර කරට ගැනීමට මට සිදුවෙනවා.ඒ කාලයේදී මතක් කරන්න ඕන මගේ පාසලේ ක්‍රීඩා සගයන් බොහෝ උපකාර කළා. ඔවුන්ගේ සහයත් එක්ක නැවත ක්‍රීඩා කටයුතු ආරම්භ කරන්න මං අධිෂ්ඨාන කර ගත්තා.නවතා දැමූ තැනින්ම නැවත ගමන ආරම්භ කළා . අවසානයේදී එම වසරේම සමස්ත ලංකා මල්ලවපොර ජයග්‍රහණය දිනා ගැනීමට හැකියාව ලැබුණා. එතැන් පටන් පිට පිටම වසර ගණනාවක් පුරාවට සමස්ත ලංකා  පදක්කම් හිමි කරගන්න හැකියාව ලැබිලා තියෙනවා.


ක්‍රීඩකයෙක් විදිහට ඔබ සතු ආත්ම විශ්වාසය සැබවින් ම විශිෂ්ටයි. හොඳයි. ඔබේ අතීතය ගැන අපි කතා කළා. ඒ වගේම අනාගතයේදී ජය ගැනීමට අපේක්ෂාවෙන් සිටින ඉදිරි ඉලක්ක ගැනත් සඳහනක් කරමු.

ඔව් . එළඹෙන 2024 ජාතික මල්ලවපොර ශූරතාවය ජයග්‍රහණය කිරීමත් , ඉන්පසුව මල්ලවපොර ජාතික සංචිතයට ඇතුළත් වීමත් මගේ අපේක්ෂාව. ක්‍රීඩාව තුළින් ලද අත්දැකීම් ක්‍රීඩා උපදේශකවරයෙකු ලෙස තවත් අයට බෙදා දෙන්නත් කැමැත්තෙන් ඉන්නවා. අපි අනිවාර්යෙන්ම ගමන් කරන්න ඕන අපි ආස මාවත දිගේ. එවිට අනිවාර්යෙන්ම දුර ගමනක් යා හැකියි. ඉතින් මගේ අපේක්ෂාවත් ක්‍රීඩා ක්ෂේත්‍රයේම වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න.


මේ ගමන් මගේදී ඔබට බොහෝ ජයග්‍රහණ ලබාගැනීමට වගේම ඇතැම් පරාජයන් දරා ගැනීමට සහයෝගය දැක්වූ පිරිසව , අපි අවසාන වශයෙන් මතක් කරමු.

විශේෂයෙන්ම මතක් කරන්න ඕන, මගේ පවුලේ අයව,අම්මා,තාත්තා,මල්ලි,නංගි. ඒ වගේම මගේ මල්ලවපොර උපදේශකතුමා, සහ මගේ යාළුවෝ. ඇතැම් අවස්ථාවල මුහුණ දීමට අසීරු අභියෝග වලදී මේ පිරිස මට ලොකු ශක්තියක් වුණා.

හොඳයි. ඉතින් අපිත් සමඟ ඔබේ අත්දැකීම් මේ විදිහට බෙදාගන්න එක්වූවාට ස්තූතියි. ඔබේ අනාගත ක්‍රීඩා කටයුතු සේම අධ්‍යාපන කටයුතුත් සිතන පතන අයුරින්ම සඵල වන්නට, සන්නස අපි සුභ පැතුම් එක් කරනවා.

ඔබටත් ස්තුතියි .

වාසනා වික්‍රමසිංහ

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required