
පිළිසරණ අයදිමින් ඇවිදින
සුරැකුමක් සොයමින් තැනින් තැන
අතරමග නතර වී ළතැවෙන
නොලද කරුණාවම සොයා යන
සොඳුරු මිනිසුන් ඇතැයි සිතුවද
එසේ නොවනා කටුක මාවත
උන්ගේ නිවහන ලෙස ගිමන් හැර
අසරණව මියැදේවි දිනයක
උරුම නැතිමුත් සොඳුරු නිවසක්
මියුරු වදනක් - කුසට අහරක්
නොයෙක් අනතුරු රෝග බිය දුක්
පිරී ඇත නැත සැනසුමක්
තලා පෙළලා මරා දැමුවද
"එපා" යැයි පවසන්නේ කෙලෙස ද?
නීති පොත්පත් කොතෙක් තිබුණද
යුක්තියක් ඉටු වෙයිද උන් හට?
පිටට නෑසෙන ඉකි බිඳුම් හඬ
දුක ම මුසු වුණ වීදි ජීවිත
සුරැකුමට අසරණ සතුන් හැම
හඬ නගන්නට හැකිය අප හට
සිව්පාවෙකු පවා ලෙන්ගතු වන්නේ සුන්දර හදවත් ඇති මිනිසුන් සමඟ ය. එවන් අහිංසක ජීවිත වලට දයාව, කරුණාව ලබා දිය හැක්කේ මනු දම් සපිරි , මිනිස් හදවත් වලට ම පමණි . මේ මිහිතලයේ වෙසෙන සෑම සත්වයෙකුගේ ම ජීවිතය එක හා සමානව වටියි.නමුත් එය වටහා ගත හැක්කේ සුළු පිරිසකට පමණක් වීම කණගාටුවට කරුණකි. නිතර ඇස ගැටෙන, වීදි සුනඛ ජීවිත පිළිබඳවත්, මෛත්රී සහගත සිතින් බැලීමට අප සැමට හැකි විය යුතුය
වාසනා වික්රමසිංහ