/
/
title icon ගුවන් විදුලියේ ගමන් මග.
ගුවන් විදුලියේ ගමන් මග.
Wasana Wickramasingha
3 months ago
Share:
ගුවන් විදුලියේ ගමන් මග.

ගුවන් විදුලිය ලොවට හඳුන්වා දෙමින් සන්නිවේදන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කිරීමට මුල් වූයේ නොබෙල් ත්‍යාගලාභී ගුග්ලියෙල්මෝ මාර්කෝනි ය.ඔහුගේ එම සොයා ගැනීම පසුකාලීනව බොහෝ නව්‍යකරණයන්ට ලක් වෙමින්,ලොව පුරා ජනතාවට සෙත සලසන්නට විය.සෑම වර්ෂයක ම පෙබරවාරි 13 වන දිනය "ලෝක ගුවන් විදුලි දිනය" ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් නම් කර ඇත.මේ වන විට ලොව පුරා ගුවන් විදුලි මධ්‍යස්ථාන හතළිස් හතර දහසකට අධිකව පවතින අතර අප්‍රිකාව වැනි රටවල් වල රූපවාහිනිය සහ පුවත්පත අභිබවමින්, ජනප්‍රියතම සන්නිවේදන මූලාශ්‍රය බවට පත්ව ඇත්තේ රේඩියෝව යි. ඇමරිකා එක්සත් ජනපදයේ ද ගුවන් විදුලි මධ්‍යස්ථාන පහළොස් දහසකට අධිකව පවතී.

ලොව ගුවන් විදුලි ප්‍රචාරක කටයුතු ආරම්භ වී කෙටි කලක් ගතවන විට ම  ශ්‍රී ලංකාව තුළත්  ඒ සම්බන්ධයෙන් උනන්දුවක් ඇතිවන්නට විය.1920 පමණ කාලයේ පටන් මෙරටට ගුවන් විදුලිය හඳුන්වාදීමට සාකච්ඡා පවත්වා ඇත. ඒ අනුව,1922 වර්ෂයේ දී ලංකා වයර්ලස් සංගමය පිහිටුවා ඇත.1923 වර්ෂයේ දී මෙම නාමය  ලංකා ආධුනික රේඩියෝ සමාජය ලෙසින් වෙනස් කරන ලද අතර මෙමගින් ලංකාවේ ගුවන් විදුලි ප්‍රචාරණය සඳහා බලපත්‍ර ඉල්ලා සිටින ලදී .ඒ අනුව එවකට ලංකාවේ තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ඊට අදාළ සොයා බැලීම් සිදුකිරීමට පත් කරන ලදී.

කෙසේ වෙතත් රජය මෙරට ගුවන් විදුලි ප්‍රචාරක කටයුතු පෞද්ගලික අංශයට ලබා දීමට කැමැත්තක් නොදැක්වීය.මෙරට ගුවන් විදුලිය ආරම්භ කළ යුත්තේ තැපැල් සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව යටතේ බව රජයේ තීරණය විය. මේ අතර 1924 ජුනි 27 වන දින, අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් විලියම් හෙන්රි මැනිං විසින් ලංකා ඉංජිනේරු සංගමය වෙත පණිවිඩයක් නිකුත් කර ඇති අතර, එය මෙරට ප්‍රථම ගුවන් විදුලි විකාශය ලෙසින් සනිටුහන් වී ඇත.එම විකාශය ඉතිහාසයට එක් වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත වල පළමු හා ආසියාවේ පළමු ගුවන් විදුලි විකාශය ලෙසයි.

1925 ජූලි මාසයේ දී ගුවන් විදුලි බලපත්‍ර 129 ක් නිකුත් කර ඇත .එකල විකාශය කළ වැඩසටහන් වලට බටහිර සංගීතය, කාලගුණ වාර්තා හා වෙළඳ තොරතුරු ඇතුළත්ව ඇත.කෙටි කලකින් නාට්‍ය ප්‍රචාරය ද ආරම්භ කර ඇත.1927 වර්ෂයේ දී ක්‍රීඩා තොරතුරු සහ පුවත් විකාශය ආරම්භ කර ඇත.එම වර්ෂයේ දී ම ප්‍රථම සජීවී සිංහල සංගීත වැඩසටහන ප්‍රචාරය කර ඇත. මේ ආකාරයෙන් කෙමෙන් කෙමෙන් ගුවන් විදුලිය මෙරට ජනතාවට සේවය සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකසා ගන්නා ලදී.

ගුවන් විදුලියේ මුල් යුගය නියෝජනය කළ නිවේදකයන් අතර ඩී. ටී. එල් ගුරුගේ, එල්.ආර් විජයමාන්න, එස්.නඩරාජා ආදීන් පෙරමුණ ගනී.බ්‍රිතාන්‍ය පාලකයන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා නිර්මාණය කරගත් ගුවන් විදුලියේ මව් භාෂාව බවට පත් වූයේ ඉංග්‍රීසි භාෂාව යි. ගුවන් විදුලිය තුළින් ප්‍රථමයෙන් සිංහල භාෂාවෙන් කතාවක් සිදුකර ඇත්තේ බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ විසූ පැළෑනේ සිරි වජිරඤාණ හිමියන් විසින් ය.

1935 වන විට මෙරට ගුවන් විදුලි බලපත්‍ර හිමියන් සංඛ්‍යාව තුන්දහස් පනස්තුන දක්වා වර්ධනය වී තිබිණි.1939 ඇති වූ ලෝක යුද්ධ සමයේ දී ආරක්ෂක ස්ථාන හා ආරක්ෂක අගල් වලින් ප්‍රයෝජන ගන්නා ආකාරය ජනතාව අතරට ගෙන යාමේ වගකීම ගුවන් විදුලියට පැවරුණි.1932 වර්ෂයේ දී පාසල් වැඩසටහන් ආරම්භ වූ අතර ග්‍රාමීය වැඩසටහන්,1930 වර්ෂයේ දී ආරම්භ විය. 1935 වර්ෂයේ දී ගුවන්විදුලිය මගින් පෞද්ගලික පණිවිඩ යැවීම් ද සිදුකර තිබේ. එයට අවමංගල දැන්වීම්, අතුරුදහන් වූවන් පිළිබඳ පුවත් සහ අසාධ්‍ය රෝගීන්ගේ ඥාතීන් කැඳවා ගැනීම වෙනුවෙන් සිදු කළ දැන්වීම් ඇතුළත් ය.

1967 වර්ෂයේ ජනවාරි 05 දින එතෙක් පැවැති ගුවන් විදුලි දෙපාර්තමේන්තුව, ගුවන්විදුලි සංස්ථාව බවට පත් විය.එහි ප්‍රථම සංස්ථා සභාපති ලෙස හා අධ්‍යක්ෂ ජනරාල් ලෙස නෙවිල් ජයවීර මහතා පත් විය .විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමඟ ගුවන්විදුලිය ක්‍රමයෙන් බිඳ වැටෙන්නට විය.එම නිසාම  අනූව දශකය වන විට පෞද්ගලික ගුවන් විදුලි නාලිකා බිහි වීම සිදුවිය.

ජාතික ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය ලෙස සලකනු ලබන්නේ හැත්තෑව-අසූව දශක යි. ලාංකීය කලා කෙත පෝෂණය කළ බොහෝ කලාකරුවන් මෙම යුගය තුළ ගුවන් විදුලිය ඔස්සේ බිහි විය. උදාහරණ ලෙස පණ්ඩිත අමරදේව, සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන්, මහගම සේකර, කරුණාරත්න අබේසේකර, දයානන්ද ගුණවර්ධන, ප්‍රේම කීර්ති ද අල්විස් යන අයව සඳහන් කළ හැක.

මේ වන විට රාජ්‍ය හා පෞද්ගලික මට්ටමින් ගුවන් විදුලි නාලිකා පනහකට අධික ප්‍රමාණයක්, භාෂා ත්‍රිත්වය යටතේ ම ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත් මෙරට ගුවන් විදුලි ප්‍රේක්ෂකාගාරයේ අවධානය ප්‍රධාන හිමිකරුවන් හතර දෙනෙකු වටා රැඳී ඇති බවක් දැකගත හැක.එම මාධ්‍ය ආයතන වන්නේ ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන්, සීමාසහිත කැපිටල් මහරාජා සමාගම,පවර් හව්ස් සහ සීමාසහිත ඇසෙට් රේඩියෝ බෝඩ්කාස්ටින් සමාගම යි.

වර්තමානයේ බොහෝ නිවෙස් තුළ පෙර මෙන් ගුවන් විදුලි යන්ත්‍ර දක්නට ලැබෙන්නේ නැත. එනමුත් නාගරිකරණය ට ලක් නොවූ ඇතැම් ගම්බද ප්‍රදේශවල තවමත් ගුවන් විදුලි භාවිතය බහුලව දක්නට ලැබේ.රූපවාහිනිය බිහිවීම සහ සමාජ මාධ්‍යයන් සීඝ්‍ර ලෙස වර්ධනය වීම මෙලෙස ගුවන් විදුලියේ ජනප්‍රියත්වය අඩු කිරීමට හේතු සාධක සපයා ඇත.

 


වාසනා වික්‍රමසිංහ

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required