/
/
title icon ශ්‍රි ලංකාවේ පුවත්පත් කලාව.
ශ්‍රි ලංකාවේ පුවත්පත් කලාව.
Wasana Wickramasingha
3 months ago
Share:
ශ්‍රි ලංකාවේ පුවත්පත් කලාව.

සුමංගල ශබ්දකෝෂයට අනුව "පුවත්පත යනු ප්‍රවෘත්ති ප්‍රසිද්ධ කරන පත්‍රය යි". එහෙත් පුවත්පතක අන්තර්ගත වන්නේ ප්‍රවෘත්ති පමණක් ම නොවේ. ප්‍රවෘත්ති,විශේෂාංග සහ වෙළෙඳ දැන්වීම් ලෙස ප්‍රධාන කාණ්ඩ තුනක් ඔස්සේ පුවත්පතේ අන්තර්ගතය සකස් වේ.පුවත්පතක පළ වන ප්‍රවෘත්ති සහ දැන්වීම් හැර අනෙකුත් සියල්ල "විශේෂාංග" ගණයට ඇතුළත් වේ. අධ්‍යාපන ලිපි,ශාස්ත්‍රීය ලිපි, සම්මුඛ සාකච්ඡා,ගවේෂණාත්මක ලිපි, කාටූන්,සංවර්ධන විශේෂාංග සහ කාලීන ලිපි ඒ අතර වේ.වර්තමානය වන විට ළමා,කාන්තා, ක්‍රීඩා,විද්‍යා,සිනමා ආදී ලෙස ද විවිධ පාඨක ප්‍රජාවන් ඉලක්ක කරගත් පුවත්පත්  රාශියක් ම මුද්‍රණය වෙමින් පවතී.රජයේ ලියාපදිංචි පළමු පුවත්පත ලෙස සැලකෙන්නේ 1862 වර්ෂයේ දී ආරම්භ වූ "ලක්මිණි පහන" පුවත්පත යි. දෙසතියකට වරක් නිකුත් වූ මෙම පුවත්පතේ එවකට මිල පනම් එකක් විය. මෙය ශාස්ත්‍රීය විශ්ව කෝෂයක් බඳු වූ බව කියැවේ.

දිනපතා, සතිපතා,මාස්පතා ආදී ලෙස මුද්‍රණය වන පුවත්පත් සිය ගණනක් මේ වන විට දැකගත හැක. කෙසේ වෙතත්, පුවත්පත් නිෂ්පාදන කර්මාන්තය තුළ ප්‍රධාන ආයතන හතරක මැදිහත්වීම කැපී පෙනේ. එනම්, විජය පුවත්පත් සමාගම, උපාලි පුවත්පත් සමාගම, සිලෝන් පුවත්පත් සමාගම සහ ලේක්හවුස් සමාගම යි. ලේක්හවුස් සමාගම හැර අනෙකුත් සමාගම් ත්‍රිත්වය පෞද්ගලික හිමිකාරීත්වයන් යටතේ ක්‍රියාත්මක වේ.


සීමාසහිත ශ්‍රී ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්)

ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ මහගෙදර ලෙසින් සැලකෙන මෙම ආයතනය ඩී.ආර් විජයවර්ධනයන් විසින් ගොඩනගන ලදී. වර්තමානයේ දී සිළුමිණ,තරුණි,බුදු සරණ, දිනමින,Sunday Observer, රැස, තිනකරන් වැනි භාෂා ත්‍රිත්වයට ම අදාළ පුවත්පත් මුද්‍රණය සිදු කරයි.

සීමාසහිත විජය පුවත්පත් සමාගම.

1979 වර්ෂයේදී රංජිත් විජේවර්ධන මහතා විසින් ආරම්භ කරන ලදී. එතුමා ප්‍රකට ජනමාධ්‍ය හිමිකරුවෙකු වූ ඩී.ආර් විජේවර්ධන මහතාගේ පුතු ය.විජය පුවත්පත් සමාගම ද සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා යටතේ පුවත්පත් රාශියක් ම මුද්‍රණය කරයි.ලංකාදීප,Daily Mirror,Sunday Times, සිරිකත,තරුණයා,Tamil Mirror වැනි පුවත්පත් ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

සීමාසහිත උපාලි පුවත්පත් (පුද්) සමාගම.

1978 දී උපාලි විජේවර්ධන මහතා විසින් ආරම්භ කළ උපාලි පුවත්පත් සමාගම ඔහුගේ අභාවයෙන් පසුව ලක්මිණි වෙල්ගම මහත්මියට හිමි විය. දිවයින,විදුසර, නවලිය, රන්දිව,The island, Sunday Island, යනාදී පුවත්පත් මෙම සමාගම යටතේ මුද්‍රණය වේ.

සීමාසහිත සිලෝන් නිව්ස් පේපර්ස් (පුද්) සමාගම.

මෙම සමාගමේ හිමිකාරීත්වය ටිරාන් අලස් මහතා සතුය. 2011 වර්ෂයේදී ආරම්භ කළ සීමාසහිත සිලෝන් නිවුස් පේපර්ස් සමාගම ද Ceylon Today සහ මව්බිම පුවත්පත් මුද්‍රණය සිදු කරයි.


ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය.

පුවත්පත් පිළිබඳව කරුණු විමසන විට මෙම ආයතනය අමතක කළ නොහැක.මෙය 1973 වර්ෂයේ දී ප්‍රවෘත්ති හා ගුවන් විදුලි අමාත්‍යාංශය යටතේ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් ලෙසින් ආරම්භ විය. වර්තමානයේ දී ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර එහි සභාපතිත්වය දරන්නේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා ය.ශ්‍රී ලංකාවේ පුවත්පත් මාධ්‍ය නියාමනය පිණිස මෙම ආයතනය ඉමහත් සේවයක් සිදු කරයි.

මෙරට ප්‍රකාශනය කරනු ලබන සියලුම පුවත්පත් 1973 අංක 05 දරන ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩල පනත යටතේ ලියාපදිංචි කළ යුතුවේ. තවද පුවත්පත් මගින් සිදුවන අපහාස,චරිත ඝාතන,අපහාසාත්මක ඡායාරූප ආදිය සම්බන්ධයෙන් ද එම පනත ප්‍රකාරව පැමිණිලි විභාග කිරීම සිදුවේ. මෙරට පුවත්පත් නිදහස සුරක්ෂිත කිරීම සහ ඒ හා බැඳුණු උසස් වෘතීයභාවයක් පවත්වා ගැනීම අරමුණු කොටගෙන පුවත්පත් මණ්ඩලය කටයුතු කරයි.

මේ ආකාරයෙන් වර්තමානය වන විට මෙරට පුවත්පත් කලාව වඩා දියුණු ස්ථානයක පවතී. තොරතුරු සැපයීම, පෙළඹවීම, දැන්වීම්කරණය, විනෝදාස්වාදය වැනි සෑම අංශයක්ම ආවරණය කරමින් සහ පාඨක රුචිකත්වයට මූලිකත්වය ලබාදෙමින් පුවත්පත් ආයතන කටයුතු කරයි.වෙනදාට වඩා තරඟකාරී බවක් පැවතුන ද මෙරට සියලුම පුවත්පත් හරහා සිදුවන ජාතික මාධ්‍ය මෙහෙවර පැසසුම් සහගත ය.

වාසනා වික්‍රමසිංහ

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required