/
/
title icon ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ විකාශනය
ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ විකාශනය
Kavindi Yaggahavita
2 months ago
Share:
ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ විකාශනය

ශ්‍රී ලාංකේය ලේඛන ඉතිහාසය පිළිබඳ විග්‍රහ කිරීමේ දී එය අදියර කිහිපයක් ඔස්සේ සිදුවී ඇති බව නිරීක්ෂණය කළ හැකිය.මුල් අදියර ලෙස ක්‍රිස්තු වර්ෂ 1800 – 1860 දක්වා කාලය දැක්විය හැකි අතර ඉංග්‍රීසි පාලන සමයේදී ප්‍රථම වාරික ප්‍රකාශනයක් ලෙස “ශ්‍රී ලංකාණ්ඩු ගැසට් පත්‍රය” ආරම්භ විය. ඒ 1802 මාර්තු මාසයේදීය. ලංකාවේ පළමු පුවත්පත ලෙස සැලකෙනුයේ “ කලම්බු ජර්නල්” ( The Colombo Journal ) පුවත්පතයි. 1832 වර්ෂයේ ඇරඹී මෙය එවකට සිටි සිවිල් සේවකයෙක් වූ ජෝර්ජ් ලී විසින් සංස්කරණය කරන ලද්දකි. එවැනි තවත් පුවත්පතක් වූයේ 1834 ආරම්භ කෙරුණු “Observer and commercial advertiser” පුවත්පතයි. මෙකල පළ වූ පුවත්පත්වල ආගමික, අධ්‍යාපනික කරුණු ඇතුළත් වී ඇත. මින් අනතුරුව 1932 දී ප්‍රථම සිංහල සඟරාව “ මාසික තෑග්ග” නමින් නිර්මාණය විය.නමුදු ඇතමුන් දක්වනුයේ “ලංකා නිධානය” පළමු සිංහල පුවත්පත වූ බවයි.
ඉන්පසුව 1846 වර්ෂයේ “ සාහිත්‍ය නිධානය” නම් සඟරාව පලවිය. එහි කර්තෘත්වය දරන ලද්දේ ජෝන් පෙරේරා විසිනි. මෙකී කාල වකවානුවල මූලික අරමුණ වී ඇත්තේ ක්‍රිස්තියානි ධර්මය ප්‍රචාරය කිරීමයි. එබැවින් මෙම කාලවකවානුවේදී ආගමික වශයෙන් හෝ ලේඛන කලාවේ පුනරුදයක් ඇතිවීම සාධනීය තත්ත්වයකි. මක්නිසාදයත් මේ හේතුවෙන් පාඨකයින් හා ලේඛකයින් අතර පුවත්පත් කියවීමේ රුචිකත්වයක් ඇතිවූ බැවිනි.මෙහි දෙවන අදියර වනුයේ 1860 – 1900 දක්වා කාල පරිච්ඡේදයයි. 1860 දී “ලංකා ලෝකය” නැමැති ප්‍රථම සිංහල පුවත්පත ආරම්භ විය. නමුදු මෙම කාලවකවානුවේ රජයේ ලියාපදිංචි කරන ලද පළමු පුවත්පත වූයේ “ලක්මිණි පහන”ය. එහි කර්තෘත්වය දරා ඇත්තේ කොග්ගල පඬිතුමාය. 
1866 වර්ෂයේදී ආරම්භ වුණු “ඥානාර්ථ ප්‍රදීපය” පුවත්පතට දීර්ඝ ඉතිහාසයක් සහිත පුවත්පතකි. මෙය කතෝලික සභාව විසින් ආරම්භ කර ඇත. පසුව මෙම පුවත්පතින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීමක් ලෙස1867 දී " සත්‍ය මාර්ගය"  නමින් පුවත්පතක් ආරම්භ කෙරිණි.මෙකල පුවත්පත් කලාවේ තවත් වැදගත් ලක්ෂණයක් වනුයේ කවට පුවත්පත් ආරම්භයයි. 1871 වර්ෂයේදී " කවට කථිකයා"  පුවත්පත, ජී.පී. පෑලිස් අප්පුහාමි විසින් ආරම්භ කොට ඇත. ඒ අනුව යමින් මෙකල පළ වූ තවත් පුවත්පත් කිහිපයක් ලෙස කවටයා, කවට මිත්‍රයා, කවට නරේන්ද්‍රයා යනාදිය දැක්විය හැකිය. ප්‍රථම වරට දිනපතා පළවන පුවත්පතක් ලෙස ආරම්භ වනුයේ "දිනපතා ප්‍රවෘත්ති" නම් පුවත්පතයි. ඒ 1890 වර්ෂයේදීය. මින්පසු 19 වන සියවස අග භාගයේ පමණ  විවිධ විෂයන් යටතේ පළවුන පුවත්පත්,සඟරා දක්නට ලැබේ. 1906 වර්ෂයේදී ඇරඹුණු “සිංහල බෞද්ධයා” පුවත්පත අනගාරික ධර්මපාල තුමා යටතේ මහා බෝධි සමාගම විසින් ආරම්භ කර ඇත. මෙහි මූලික පරමාර්ථය වී ඇත්තේ ජාතික නිදහස උදෙසා ජනතාව අවදි කිරීමයි. 1910 වර්ෂයේදී ඇරඹුණු සිංහල ජාතික පුවත්පතින් ද එබඳුම සේවාවක් සිදුවී තිබේ. 1909 වර්ෂය වන විට ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ නව ආරම්භයක් සනිටුහන් කරමින් "දිනමිණ" පුවත්පත ආරම්භ විය. පසුව 1924 වර්ෂයේ ආරම්භ කරන ලද "ස්වදේශීය මිත්‍රයා" පුවත්පත ආදර්ශමත් පුවත්පතකි. මෙහි කතුවරයා වූයේ ඩී. ඩබ්ලිව් වික්‍රමාරච්චි මහතාය.
1930 වර්ෂයේ “සිළුමිණ”  පුවත්පතෙහි බිහිවීම සිදුවූ අතර කෙසේ නමුදු  1930 වර්ෂය පමණ වන විට පුවත්පත් කලාවේ නව පිබිදීමක් ඇති වී  ඇති බව නිරීක්ෂණය කළ හැක. ඒ  වාමාංශික ව්‍යාපාරයේ ආරම්භයත් සමඟ පුවත්පත් රැසක බිහිවීමත් සමඟය. 1940 ගණන්වල  වාමාංශික ව්‍යාපාරයේ ඇති වූ භේද භින්නතා සමග බිහි වූ පුවත්පත් ලෙස මව්බිම, නවලෝකය යනාදිය දැක්විය හැකිය. පසුකාලීනව 1947 “ටයිම්ස්” ආයතනයෙන් ආරම්භ වුණු “ලංකාදීප” පුවත්පත ඩී. බී. ධනපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇත.
මෙහි සිව්වන අදියර ලෙස 1948 – 1970 දක්වා කාලය ගත හැකිය. 1948 වර්ෂයේ ලංකාවට නිදහස ලැබීමෙන් පසු පුවත්පත් සඟරා දේශීය සංස්කෘතිය යනාදිය පිළිබඳ අවබෝධයක් ලබා ගෙන ඇති බව එකල පළ වූ පුවත්පත් හරහා ගම්‍ය වේ. 
60 දශකය පමණ වන විට ලංකාවේ පුවත්පත් කලාවේ ප්‍රධාන පුවත්පත් ආයතන තුනක් විය. ඒ ටයිම්ස් ආයතනය, ලේක්හවුස් ආයතනය සහ දවස ආයතනයයි. ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ විකාශනයෙහි     පස්වන අදියර ලෙස 1970 පසුව අද දක්වා කාලවකවානුව සැලකිය හැකිය. නවීන තාක්ෂණය පුවත්පත් කලාව හා මුසුවීම මෙන්ම පුවත්පත් සංඛ්‍යාත්මක වශයෙන් විශාල ප්‍රමාණයක් බිහිවීමද මෙකී කාල වකවානුවෙහි සුවිශේෂීත්වයකි.
1973 වර්ෂය පුවත්පත් නිදහස සම්බන්ධයෙන් තීරණාත්මක වර්ෂයකි. ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීම මෙකල සිදුවූ අතරම පුවත්පත් සම්බන්ධයෙන් තීරණාත්මක වෙනස්කම් රාශියක් මේ සමඟ සිදුවිය.
ලාංකේය පුවත්පත් විකාශන ගමන් මග නිරීක්ෂණය කිරීමේදී අද වන විට ලේඛන කලාවේ විශාල ප්‍රගතියක් සිදුවී ඇති බව නොරහසකි. නූතන තාක්ෂණය පුවත්පත් කලාව හා මුසුවීමත් සමග කලාත්මක ආකෘතීන්, පුවත්පත් සඳහා භාවිතය සුලභව දක්නට ලැබේ.එසේ වුවද වර්තමාන පුවත්පත්වල ගුණාත්මකභාවය පිළිබඳ සැලකීමේදී ඇති වී ඇත්තේ අසතුටුදායක තත්ත්වයකි. ප්‍රමුඛ වාණිජ පරමාර්ථයෙන් පුවත්පත් බිහිවීම මෙයට මූලික හේතුව වී ඇති බව පැවසිය හැකිය. අද වන විට මේ තත්ත්වය දිනෙන් දින වර්ධනය වන බවද පැහැදිලි කරුණකි.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required