/
/
title icon ගජමන් නෝනා.
ගජමන් නෝනා.
Wasana Wickramasingha
3 months ago
Share:
ගජමන් නෝනා.

රුහුණේ මහා කිවිඳිය ලෙස ජනාදරයට පත් වූ ගජමන් නෝනා උපත ලබා ඇත්තේ වර්ෂ 1746 මාර්තු 10 වැනිදා ය.ඇගේ සැබෑ නම වී ඇත්තේ දෝන ඉසබෙලා කොරනේලියා ය.ගජමන් නෝනාගේ දෙමාපියන් ලන්දේසි පවුල් වලට අයත් වූ අතර පියාගේ මුල් ගම වී ඇත්තේ ගිරුවාපත්තුවේ බෙලිඅත්ත ප්‍රදේශය යි.  කොරනේලියාගේ මව පාසල් ගුරුවරික වූ අතර පියා බෙලිඅත්ත ප්‍රදේශයේ කහවත්ත තෝම්බුව භාරව සහ ගජමන් ආරච්චි වසම භාරව කටයුතු කර ඇත. දරුවන් තිදෙනකුගෙන් සමන්විත වූ පවුලේ වැඩිමලා වූයේ ගජමන් නෝනා ය.
ඇගේ මමා සාහිත්‍ය සහ කාව්‍ය ශාස්ත්‍රය පිළිබඳව හසල දැනුමක් සහිත පුද්ගලයෙකු වූ නිසාවෙන්,ඔහු ඇසුරේ සිය කවීත්වය ඔපමට්ටම් කරගන්නට ඇයට හැකි විය.ගජමන් නෝනාගේ පියාහට මාතර තෝම්බුව භාර නිලධාරිවරයා ලෙස පත්වීමක් ලැබීමෙන් අනතුරුව, මෙම පවුල මාතර ප්‍රදේශයේ පදිංචියට පැමිණ ඇත.ඒ වන විට ගජමන් නෝනාගේ වයස අවුරුදු දාහතරක් වූ බව සඳහන් වේ.

මෙලෙස මාතරට පැමිණීම ඇගේ කවීත්වය තව දුරටත් දියුණු කරගැනීමට උපකාරයක් විය.ඊට ප්‍රධානතම හේතුව වූයේ එකල ලක්දිව ප්‍රසිද්ධියට පත්, උගත් පඬිරුවනක් වූ කරතොට ධම්මාරාම හිමියන් වැඩ විසූ රජමහා විහාරය ඇගේ නිවස අසල ම පිහිටා තිබීම යි.එම වකවානුවේ දී කාන්තාවන්ට භික්‍ෂූන් ඇසුරේ අධ්‍යාපනය ලැබීම නොගැලපෙන දෙයක් ලෙසින් පිළිගැනුණු නිසා ම, ගජමන් නෝනා පිරිමි ළමයකුගේ වෙස් ගෙන කරතොට ධම්මාරාම හිමියන්ගෙන් කාව්‍ය ශාස්ත්‍රය උගත් බව සඳහන් වේ.කෙසේ නමුත් මාතර කිවිඳිය ලෙස නම් ලද ඇය, ප්‍රදේශයේ බුද්ධිමත් විද්වතුන් කිහිපදෙනෙකු සමඟම ශාස්ත්‍රිය මට්ටමේ කිට්ටු සබඳතා පවත්වාගෙන ගොස් ඇත.

අවුරුදු විසිදෙකේ දී විවාහ දිවියට එළැඹි ගජමන් නෝනා,තම ස්වාමියා සමඟ ගාල්ල ප්‍රදේශයේ පදිංචියට යන්නට විය. එලෙස ඇය විවාහ වූයේ ගාල්ලේ තල්පේ මෙරංචිගෙයි ගාර්දියෙස් ආරච්චි සමඟ ය.පසුව එම දෙපළට එක් පුතෙකු උපන් අතර වසර දෙකකට ආසන්න කාලයක් සාර්ථක යුග දිවියක් ගත කිරීමට ඈ සමත් වූවා ය.තම ස්වාමියාගේ හදිසි අභාවයෙන් පසුව වැන්දඹු තත්ත්වයට පත් වූ ඇය තම පුතු සමඟින් නැවත දෙමාපියන් වෙතට යන්නට වූවා ය.

කෙසේ වෙතත් මෙම වැන්දඹු කාන්තාවගේ සිත දිනාගැනීමට එකල බොහෝ ප්‍රභූවරුන් උත්සාහ දරා ඇති බව කියැවේ.එහෙත් තම ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගනිමින් කල් ගෙවූ ගජමන් නෝනා දෙමව්පියන්ගේ ඉල්ලීම මත දෙවන විවාහයට ද පිවිසියා ය.ඒ මුහන්දිරම්වරයෙකු වූ මාතර උයන්වත්තේ  දොන් ග්‍රේබ්‍රියල් හෙන්ද්‍රික් සිරිවර්ධන විජය විමලසේකර සමඟ ය.ඔහු සමඟ ඉතා සැපවත් දිවියක් ගත කළ ගජමන් නෝනා  නැවත වරක් පුතුන් තිදෙනෙකු බිහිකළා ය.නොසිතූ අවස්ථාවක සිදු වූ සිය දෙවන සැමියාගේ ද වියෝවෙන් පසු ඈ යළිත් වරක් වැන්දඹුවක වූවා ය.මැදිවියේ සිටි ගජමන් නෝනාට සිය පියාගෙන් යම් පිළිසරණක් ලැබුණ ද, ජීවන බර තනිව කරට ගැනීම ඉතා දුෂ්කර විය.එලෙස පැවති ආර්ථික අපහසුතා ඇගේ දැඩි කනස්සල්ලට හේතු විය.

මෙකල ගජමන් නෝනා පිළිබඳව වැඩි උනන්දුවක් දැක්වූ ප්‍රභූවරයෙකු ලෙස "ඇළපාත මුදලි" ප්‍රසිද්ධියට පත්ව ඇත.ඉතා දක්ෂ කවියෙකු වූ ඇළපාත මුදලි  සහ ගජමන් නෝනා අතර ඇති වූ කවි සංවාද මාතර යුගයේ කවිය ඉතා රසවත් කිරීමට හේතු විය.

මෙසේ කල්ගත වන විට ගජමන් නෝනාගේ පියා ද වන අලි පහරකින් මිය යන්නට විය.ඒත් සමඟම ඇයට ජීවිතය ගැට ගසා ගැනීම තව තවත් අසීරු විය.ඇගේ සීයා විසින් වැඩිමහල් දරුවන් දෙදෙනාව  කොළඹට රැගෙන ගොස් වැඩිදුර අධ්‍යාපනය ලබා දෙන ලදී .නමුත් එම දරුවන් දෙදෙනා ද උණ රෝගයක් වැළඳී අකාලයේ මිය ගොස් ඇත.වැඩීමල් පුතුන් දෙදෙනාගේ එම වියෝවෙන් පසු ගජමන් නෝනාගේ මව ද දිවි සැරියෙන් සමුගත්තා ය. මේ ආකාරයෙන් දිගින් දිගටම සිදු වූ තම සමීපතමයන්ගේ අභාවයන් හේතුවෙන් ගජමන් නෝනා දැඩි සේ මානසික පීඩා වින්දා ය.

මෙම වකවානුවේ දී ගජමන් නෝනා, මාතර දිසාපතිවරයා වූ ජෝන් ඩෝයිලි හට කවියක් මගින් සිය අසරණකම පෙන්වා දී පිහිටක් ලබා ගැනීමට කල්පනා කළා ය.කවි කලාව පිළිබඳව ඉමහත් ලැදියාවක් දැක් වූ ජෝන් ඩොයිලි ද ගජමන් නෝනාට සිදුකරන ගෞරවයක් ලෙසින් අම්බලන්තොට ප්‍රදේශයෙන් ගම්වරයක් ලබා දුන්නේ ය. වර්තමානයේ දී ද "නෝනාගම" ලෙසින් ප්‍රකටව ඇත්තේ එම ග්‍රාමය යි.

කෙසේ වෙතත් ජීවිතයේ බොහෝ දුක් දොම්නස් වලට මුහුණ දෙමින් ඉමහත් වෙහෙසකර තත්ත්වයකට පත්ව සිටි ඈ තම ජීවිතය පිළිබඳව දැඩි තීරණයක් ගැනීමට සිතුවා ය.ඒ අනුව වර්ෂ 1814 දෙසැම්බර් 15 වන දින මෙම සුන්දර කිවිඳිය සියදිවි නසා නසාගත්තා ය. එලෙස සියදිවි නසා ගැනීමට පෙර ඇය ලියා තැබූ අවසාන කවිය මෙසේ ය.

සත විසි නෙත් දහස් සතිස් වස 
වත ලෑ කෙලෙස් උඳුවප් අඬ හැර දවස 
නෙත ගුණ ඉසබෙල් පෙරුමල් දිගැස 
සතපුර පැමිණි දිව සිරි සැප විඳින ලෙස

සැපවත් ළමා කාලයක් සහ ප්‍රීතිමත් තරුණ දිවියක් ගත කර , මැදි වියෙන් පසුව ජීවිතයේ නොයෙකුත් දුක් කම්කටොළු වලට දිරියෙන් මුහුණ දුන් ගජමන් නෝනා, සැබවින්ම ආදර්ශවත් කාන්තා චරිතයකි.සියල්ලන්ගේ ම නෙත් සිත් පැහැර ගත් මෙම අසමසම කිවිඳිය අගයමින් ඉදිකළ අලංකාර පිළිමයක්, අද වන විට ද කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ නෝනාගම හන්දියේ දී දැක බලා ගත හැකිය.


වාසනා වික්‍රමසිංහ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required