/
/
title icon ලඳුනේ...
ලඳුනේ...
Uresha Perera
2 months ago
Share:
ලඳුනේ...

ලඳුනේ ගීතය අමරසිරි පීරිස් නම් වාදකයා ගායකයෙක් ලෙස කරළියට ඔසවා තැබූ ගීතයයි. ගීතයෙන් කියැවෙන සමාජ යථාර්තය කටු ගෑවුනේ වෘත්තියෙන් නීතීඥයකු වූ රන්බණ්ඩා සෙනෙවිරත්න නම් කෘතහස්ත, සැබෑ මිනිසාගේ පෑන් තුඩිනි. අප මහා සංගීතවේදී ආචාර්ය කේමදාසයන්ගේ විස්කම් සංගීතයෙන් ඔපමට්ටම් වූ ඒ පද පෙලට ජීවය ලැබුණේ අමරසිරින්ගේ අමර සරයෙනි.

ළැම පමණක් ලොවට පෙනෙන

ලය නොපෙනෙන ලදුනෙ..

නූතනයේ නිර්මාණය වන බොහෝ ගීත  ශබ්ද රසයෙන් අනූන වුවත් අර්ථ රසයෙන් හීන වේ.එහෙත් මෙම 'ළදුනේ' ගීතය ,වසර ගණනකට ඉහතදී නිර්මාණය වුවත් අර්ථ රසයෙන් මෙන් ම භාව රසයෙන් ද පරිපූර්ණ සදාතනික සත්‍යයක් පසක් කරවන  විශිෂ්ට ගණයේ නිර්මාණයක් ලෙස මා දකිමි.

සාහිත්‍ය නිර්මාණයක් තුලින් ලොව විනිවිද දකින්නට අවස්ථාව ලබා දෙයි.තෙවන ඇසකින් ලොව ගැඹුර සොයා යන්නට රසිකයාට මග පෙන්වන්නේ නිර්මාණකරුවාය.බුදුන්ගේ කාලයේ අම්බපාලිය සේම ජීවත් වන අම්බපාලිය වන් ගැහැනුන් අදටත් සිටී.එනම් ගණිකා වෘත්තීය අද සමාජයෙත් පවතී.මෙම ගණිකා වෘත්තිය ප්‍රස්තුථය කොට ගනිමින් ළදුනේ ගීතයන් නිර්මාණය වී ඇත.මේ හරහා ගණිකාව තවත් එක් ගැහැනියක්  බව පසක් කරවමින්  , ඇය වරදකාරියක් ද ? යන්න සිතා බැලීමට රසික සිත් සංවේදනය කරන නිර්මාණයකි.

'ලඳුනේ ලඳුනේ

ඔබේ දෑස දැක ගත්තෙමි

සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ

දෙනෝදහක් අතගත්තද

සැමියෙකු නැති ලඳුනේ

නෑයෙක් නැකම නොකියන

වීදි සරන ලඳුනේ...ලඳුනේ'

එවන් වෘත්තීයකට පත් ගැහැනියකගේ සැබෑ ජීවත යථාර්ථය පසක් කරවන අපූරු පද සංයෝගයකි.දෙනෝදාහක් ඇයගේ අත ගත්තද ඇයට සැබවින් ප්‍රේම කරන එකදු පිරිමියෙක්වත් නැත. ඇගේ වෘත්තිය සමග නෑදෑයෝද ඇයට අහිමි වී ඇත.ඇගේ ජීවිතයේ ඛේදනීයම යථාර්ථය එයයි.ආර්ථික දුෂ්කරතා මත හෝ පිරිමියෙක් නිසා ඇය මෙවන් වෘත්තියකට පත් වන්නට බොහෝ සෙයින් ඉඩ ඇත.

'බුදුන් දැක නිවන් දකිමැයි

දෙව්රම යන පාර අහන

ඔබද පටාචාරාවකි

ඔබද කිසාගෝතමියකි'

මෙම පද පෙළ සවන වැකෙන විට අතීතයේ අප අසා ඇති පටාචාරාවත් කිසාගෝතමියත් සිහියට නැගෙද්දි ,ඇය මෙවන් තත්ත්වයකට පත්ව ඇත්තේ පටාචාරා කිසාගෝතමිය මෙන් දෙමව්පියන්ගේ බසට කීකරු නොවීමේ වරද නිසා විය හැකි යැයි නිර්මාණකරුවා හගවයි.

අවසන් පද පෙළෙන් ගෙන එන්නේ ,

'පිරිමින්ගේ පාප කදට

දෝස විදින ලඳුනේ

අදුරේ පව් කරන දනා

එළිය ලබන ලඳුනේ

ලැම පමනක් ලොවට පෙනෙන

ලය නොපෙනෙන ලඳුනේ

කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ'

මෙය ඇගේ වරදක් නො ව පිරිමින්ගේ පාප කදට ඒ දොස් විදීමට සිදු වී ඇත්තේ ඇයටය.එවන් දෙයට වැරදිකරුවා ගැහැනියම නොවේ යන්න පසක් කරයි.අදුරේ පව් කරන පිරිමියා එලිය තුළ පාරිශුද්ධ ප්‍රතිරූපයක් පෙන්වීමට උත්සාහ කළද ඔහු හෘද සාක්ෂිය තුළ වරදකරුවකු වී හමාරය. නැවතත් 'ළැම පමනක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලදුනෙ' යනුවෙන් ලෝකය දකින බාහිර දෙයට වඩා සැගවුණු සංවේදී කතාවක් එවන් ගැහැනියක් තුළ ඇති බව දක්වයි.නිර්මාණකරුවා නිර්මාණය අවසන් කරන්නේ 'කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ' යනුවෙන් කිසිදු වරදක් නොකළ ඇය ලෝකයටම වැරදිකාරියක් වී ඇති බවයි.

මෙම ගීතය සවන වැකෙන විට මතකයට නැගෙන අද වන විට ජනප්‍රියත්වයට පත්ව ඇති ටෙලි නාට්‍යක එන මේනකා නම් ගැහැනියගේ යථාර්ථය ද මෙයමය.අවසන් වශයෙන් මතකයට නැගෙන 'හරිමි හද කඩතුරා'පොතෙහි එන කවියකින් මෙම සටහන නිමා කරමි.

'ලලන සීගිරි ගැහෙන ළය වැසි ළැමෙහි අසිරිය පෙන්වලා 

නිරිඳු නොදුටුව තවත් දහසක් කතා ඇත එහි සඟවලා ' 

උරේෂා පෙරේරා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required