/
/
title icon සහරාවෙත් නිල්ල සොයන ඇයට..!
සහරාවෙත් නිල්ල සොයන ඇයට..!
Sanduni Dissanayake
2 months ago
Share:
සහරාවෙත් නිල්ල සොයන ඇයට..!

සහරාවෙත් නිල්ල සොයන ඇය

මිත්‍රත්වය පදනම් කරගනිමින් නිර්මාණය වී ඇති සමාජ වපසරිය තුළ ස්ත්‍රිය හා පුරුෂයා යනු එකී මිත්‍රත්වය දරා සිටිනා ප්‍රධාන පාර්ශව කරුවන් වේ. නමුත්  විවිධ සමාජ, සංස්කෘතික, ආගමික මතවාද මත ස්ත්‍රීයට වඩා පුරුෂයාගේ ප්‍රතිරූපය මෙන් ම පුද්ගල වටිනාකම ද උසස් කොට සලකයි. එය වනාහි ස්ත්‍රීය හා පුරුෂයා යන ජීව විද්‍යාත්මක කොටස් අසමානුපාතික කිරීමකි. එය සමාජීය සාධාරණත්වය අහිමි කරවන අවස්ථාවකි. 
ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සම්බන්ධයෙන් සමාජයේ ව්‍යාප්තව ඇති ආකල්ප හා ව්‍යූහාත්මක අසමානතා තුළින් මෙය ප්‍රධාන වශයෙන් පැන නැඟී ඇත . පුරුෂයා ගෘහ මූලිකයා ය. එනම් මූලික ආදායම ලබන්නා ය. නමුත් ස්ත්‍රිය ද අද්විතීය ආදායම උපයන ගෘහනිය යි. පුරුෂයා නිශ්පාදකයා ය.  ප්‍රජනනය හා ගෘහස්ථ සේවය ස්ත්‍රිය සතු කාර්යයන් ය යන සාවද්‍ය ආකල්පය මෙන් ම කාන්තාව වෙත පැවරී ඇති බහු විධ කාර්යය භාර්යය  කෙරෙහි ප්‍රතිපත්ති,වැඩසටහන් අධ්‍යාපනය සහ මාධ්‍යය ආදිය ද බලපා ඇත. 
ඒ නිසා ම ස්ත්‍රියට යම් කිසි මඟක් තෝරා ගැනීමට විවෘත වන දොරටු සීමිත වේ.  එසේම කන්‍යාභාවය පරික්ෂා කිරීම වැනි චාරිත්‍ර වාරිත්‍ර දිගින් දිගට පවත්වාගෙන යෑම ද සමාජය තුළ දක්නට ඇත. සම්පත් පාලනය ඇයට අහිමි ය. නමුත් කාන්තාව සමාජය තුළ විවිධ භූමිකාවලට අනුගත වෙමින් කටයුතු කරන්නියකි.
මවක්,සහෝදරියක්,දියණියක්, ව්‍යවසායිකාවක්, භාර්යාවක්, රැඩිකල් අදහස් දරන්නියක්, සමාජ සේවිකාවක්, පරිපාකයෙක් ආදී විවිධ භූමිකා තුළ සිය චරිතය හැසිරවීම ස්ත්‍රිය ඉතා ක්‍රමානුකූල ව සිදු කරයි. ඒ හරහා සමාජය විසින් ඇය ව සිර කර ඇති ආකෘතියෙන් එපිටට පැමිණීමට ඇය උත්සහ කරයි. මෙම සමාජ විභේදනය නිවැරදි කිරීමට , පුරුෂයා මෙන් ම ස්ත්‍රිය දැකීම හෙවත් නිසි තැන නොව සම තැන ලබා දීම පිළිබඳ සමාජ කතිකාවතක් ඇති කළ යුතු ය. එයට මාධ්‍ය හා නිර්මාණකරණය ප්‍රබලව භාවිතා කළ හැකි ය. 
ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වෙත අවධානය යොමු කිරීම් දී විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය ලෙස  කොටස් දෙකකි. විද්‍යුත් මාධ්‍ය ලෙස රූපවාහිනිය ,ගුවන්විදුලිය, සිනමාව දැක්විය  හැකි ය. මුද්‍රිත මාධ්‍ය ලෙස පුවත්පත්, සඟරා, පොත්පත් ආදිය සඳහන් කළ හැකි ය. වර්තමාන ලෝකය තුළ නව මාධ්‍ය ලෙස වෙබ් අඩවි ,blog, facebook , youtube ,instergam , ආදිය ද භාවිතා වේ. කෙසේ වෙතත්, මාධ්‍ය හා ස්ත්‍රිය යන කරුණ පිළිබඳව අවධානය යොමු කිරීමේ දී එය මාධ්‍ය විසින් නිරූපණය කරන ආකාරය හා  මාධ්‍ය ආයතන තුළ ස්ත්‍රී නියෝජනය යනුවෙන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ විග්‍රහ කළ හැකි ය.

මාධ්‍ය් මඟින් ස්ත්‍රී භූමිකා නිරූපණයේ දී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය අතර ප්‍රභලතම ස්ථානය  රූපවාහිනිය හිමි  කරගෙන තිබෙන අතර එහි ජනප්‍රිය ම මාර්ගය වන්නේ ටෙලිනාට්‍ය යි. ටෙලිනාට්‍ය හරහා බොහෝ ස්ත්‍රී භූමිකාවන් හා ස්ත්‍රිය මෙසේ විය යුතු ද යන ප්‍රශ්නය ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන අතර ඒ හරහා ප්‍රේක්ෂකාගාරය තුළ නව මතයන් ඇති වීම නිරායාසයෙන් සිදු වේ.

සමාජයක බලය හා පාලනය බෙදී පවතින ආකාරය ජාතික මට්ටමේ ජන සන්නිවේදන මාධ්‍යන් තුලින් විද්‍යාමාන වේ. බලයට හා පාලනයට කාන්තාවන්ට ඇති අයිතිය අඩුවීම හා සමානව ජනමාධ්‍ය තුළ ඔවුන්ගේ සහභාගිත්වය සහ පිළිබිඹුවීම පෙන්නුම් කරයි. එය රූපවාහිනී මාධ්‍ය තුළ බොහෝ වැඩසටහන් වර්ග හරහා පිළිබිඹු වුව ද රූපවාහිනි ටෙලිනාට්‍ය හරහා නිර්මාණශීලී ව කාන්තාව පිළිබඳ සංකතනය රැගෙන යනු ලබයි. 
නමුත් ඉතාමත් හානිදායක අයුරින් කාන්තාවන් පිළිබිඹු කරන මාධ්‍ය ලෙස ලොව පුරා හඳුන්වන්නේ ද රූපවාහිනිය යි. තුන්වන ලෝකයේ බොහෝ රටවල් , බටහිර රටවල්වල නිෂ්පාදන වැඩසටහනවලට ණයගැති ය.  ශ්‍රී ලංකාවේ පවා රූපවාහිනි වැඩසටහන්වලින් 3%ක් සමන්විත වන්නේ විදේශීය වැඩසටහන්වලිනි.  එය රූපවාහිනිය ලාංකික සමාජයට ආගන්තුක වූ කාලයේ සිට අද දක්වා ම සිදු ව ඇත. 
කෙසේ වෙතත් අනෙක් ජනමාධ්‍යවලට සහ රූපවාහිනී වැඩසටහන්වලට සාපේක්ෂව හා සංසංදනාත්මකව බලන කළ ජාතික මට්ටමින් කාන්තා භූමිකා නිරූපණය තුළින් සමාජය තුළ පවතින ප්‍රතිරූපයට යහපත් බලපෑමක් සිදු කරන අංශයක් ලෙස ටෙලි නාට්‍ය දැක්විය හැකි ය. 
ජනප්‍රිය වූ "දිමුතු මුතු" ටෙලිනාට්‍යයෙන් බුද්ධිමත් ,කාර්‍යශූර්‍ය ,ආත්ම විශ්වාසයකින් යුතු ගමේ කාන්තා සංවිධානයක ලේකම්වරියක වූ කාන්තා චරිතයක් පිළිබඳ ව සමාජගත කරයි. ගම දියුණු කිරීමේ දී ඇයගේ අප්‍රතිහත උත්සහය නිසා ඇයට ප්‍රසිද්ධියක් මෙන් ම ගැමියන්ගේ ගරුත්වය ලැබුණි. 'දිමුතු මුතු' සහ 'රටගිය ඇත්තෝ' ටෙලි නාට්‍ය පිළිබඳ වසුකාලීන ව සිදු කරන  ලද සමීක්ෂණයක දී 'රටගිය ඇත්තෝ' ටෙලි නාට්‍යට වඩා පස් ගුණයකින් 'දිමුතු මුතු' ටෙලි නාට්‍ය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය අතරම ප්‍රසිද්ධ ව තිබූ බව හෙළි විය. 
නිරතුරු ව රූපවාහිනි ටෙලිනාට්‍යවලින් නිරූපිත තවත් භූමිකාවක් වන්නේ සියල්ල දරා ගැනීමේ ශක්තිය ආදී ගුණාංගයන්ගෙන් සපිරි දරුවන්ට ම වෙන් වූ මවගේ චරිතය යි. 'දූ දරුවො' ටෙලිනාට්‍යය හරහා සියල්ලගේ ආදරයට පාත්‍ර වූ  අයිරාංගනී සේරසිංහ ඒ පිළිබඳ ව ප්‍රකාශ කරනුයේ , " මවගේ චරිතය රඟපෑම මට ඉතා කම්මැලි කාර්‍යයකි. එය හැමවිටම ඒකාකාරීයි. මවගේ චරිතයට අනුකම්පාවක් දක්වන අය නැත " ලෙස ය.

1986 දී ' සහරාවෙන් නිල්ල සොයා' යන නාට්‍ය මැද පෙරදිග සේවයේ යෙදී සිටින ගෘහ සේවිකාවන් මුහුණපාන ප්‍රශ්න අළලා සකස් වූවකි. ඒ පිළිබඳව ද සමාජය තුළ විවිධ කතිකාවත් නිර්මාණය විය. විචාරකයන්ට අනුව එම නාට්‍ය මගින් පෙන්වා දෙන්නේ එවන් අර්බුදවලට මුහුණ දෙන කාන්තාවන් එම තත්ත්වයට මුහුණ දිය යුතු බවයි.
මෙලෙස,පොදු මතයන් ඇති වීමට සහ කාන්තාව පිළිබඳ විවිධ මත සමාජ ගත වීමට රූපවාහිනී ටෙලි නාට්‍ය බොහෝ විට පාදක වී ඇත.
'ජයන්තා රුක්මණී සිරිවර්ධන' වැනි විවේචිකාවන් 'අසල්වැසියෝ' වැනි ටෙලි නාට්‍ය හුවා දක්වමින් එහි එන දූවරුන් දෙදෙනකු සහිත වැන්දඹු කාන්තාවක් තම දරුවන් දෙදෙනා විවාහ කරදීමට ගන්නා වෑයම උපහාසාත්මක ව ඉදිරිපත් කර ඇති බව පෙන්වයි.  ඇයගේ අදහස් අනුව මෙම උපහාසය සත්‍ය වශයෙන්ම අපගේ සමාජයේ බහුලව පවතින පවුල් අර්බුදයක් විදහා දක්වනු වෙනුවට එම කාන්තාවගේ චරිතය විකට චරිතයක් ලෙසින් ඉදිරිපත් කිරීමෙන් ප්‍රේක්ෂකයාගේ ප්‍රතිචාරය ම සමාජ විෂමතා කෙරෙහි නොව එවන් අවස්ථාවකට මුහුණ දෙන කාන්තාව කෙරේ යොමු කිරීමට උපයෝගී කරගෙන ඇති බව යි. 
'පුණයා කාන්ති විජයනායක' විසින් රචිත 'ගිරය' ටෙලි නාට්‍යය  මඟින් කාන්තාවන්ගේ චරිත සංකීර්ණව එළි දක්වයි. ප්‍රකට කාන්තා ක්‍රියාකාරීනියක වන පද්මිණි පල්ලියගුරු විසින් 'ධාරිනී'  සඟරාවට (1990) දී මෙම ටෙලිනාට්‍ය ගැන අදහස් දක්වා ඇත්තේ මෙසේ ය. "මෙම නාට්‍ය විදහා දක්වන දර්ශනය කුමක්ද? විවාහයකින් තොර ජීවිතයක්, බලාපොරොත්තුවක් කාන්තාවට නැති ද? ඒ හේතුව නිසා කාන්තාව විවාහ සංස්ථාවට ඇතුළු වීමට කුමන නින්දාවකට හෝ බඳුන් වුවත් සියල්ල ඉවසා සිටිය යුතු ද? කාන්තාවගේ එකම ගැලවුම විවාහය ද ? එසේනම් අවිවාහක කාන්තාවන් පරිපූර්ණ කාන්තාවක් නොවන්නේ ද ? මේ කාන්තාවට කරන නිග්‍රහයකි." ගතානුගතික චරිත වන කපටි,මුඛරි නැන්දම්මලා සහ නැන්දා - ලේලි ගැටුම ආදිය මෙම ටෙලිනාට්‍යවලින් පෙන්වා දී ඇත. නිදසුනක් ලෙස 'කන්දේ ගෙදර ' ටෙලිනාට්‍යයේ නැන්දම්මා චරිතය පෙන්වා දිය හැකි ය. 
තත්ත්වය මෙසේ වුව ද වර්තමානය වන විට ස්ත්‍රී භූමිකා නිර්මාණය වීමේ දී සාම්ප්‍රධායික හා ගතානුගතික කරුණුවලින් ඉවත් වූ බවක් පෙන්නුම් කරයි. මෑත කාලීන ව නිර්මාණය වූ සුමිත් රත්නායකයන්ගේ 'මද්දහන' 'මහපොළොව', යන ටෙලිනාට්‍ය හරහා ස්ත්‍රීත්වය පිළිබඳ පුළුල් පැතිකඩක් සමාජ ගත කරවයි. එසේ ම  'බොහීමියානුවා', 'පීතෘ' , 'මානික්කාවත' , 'කොළඹ ඉතාලිය', 'සකර්ම ' ආදී ටෙලිනාට්‍ය හරහා ද විවිධ කාන්තා භූමිකා නිරූපිත ය. එය සාධාරණ ස්ත්‍රී භූමිකා නිරූපණයක් ලෙස ද අර්ථ දැක්විය හැකි ය. සමාජ යථාර්තය තුළ ස්ත්‍රිය සතු වගකීම බොහෝ විට මෙම නිර්මාණ හරහා නිරූපිත ය. එම චරිතවලට පණ පෙවූ නිළියන් හොඳම සහ ජනප්‍රියම අංශ හරහා ටෙලි සම්මානයන්ට පාත්‍ර වන්නේ ද එකී චරිත හරහා යමක් සමාජ ගතවන නිසා ම ය.

සන්නිවේදන මාධ්‍යන්ගේ මෙකී බලපෑම් සහගත හැසිරීම කාන්තාව සම්බන්ධ කාරුණු ධනාත්මක ව බලපැවැත්වෙන  සමාජයකට අඩිතාලම දමයි නම් , එය සිදු වීම ආරම්භ වී ඇති බව කිව හැකි ය. එනිසා ම ආධිපත්‍යයෙන් තොර මානුෂීය සමාජයක බලාපොරොත්තුව මතින් අනාගතය බලා සිටිමු.

✍️ සරු දිසානායක

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required