/
/
title icon අවිහිංසාවාදයේ පියා.
අවිහිංසාවාදයේ පියා.
Wasana Wickramasingha
2 months ago
Share:
අවිහිංසාවාදයේ පියා.

මෝහන්දාස් කරම්චන්ද් ගාන්ධි වර්ෂ 1869 ඔක්තෝබර් 02 වන දින ගුජරාටි ප්‍රාන්තයේ දී උපත ලැබුවේය.ඔහුගේ පවුල ප්‍රභූ පැලැන්තියට අයත් වූ අතර පියා ප්‍රධාන අමාත්‍යවරයක් ලෙස රජයට සේවය කළේය.ගාන්ධිගේ මව ආගම සමඟ බද්ධ වූ කාන්තාවක් වූවා ය.ඇය හින්දු සාරධර්ම,නිර්මාංශ ආහාර සහ සරල දිවි පැවැත්ම තම පුතුට ද හුරු කළාය.

මහත්මා ගාන්ධි වෘත්තියෙන් නීතිඥවරයෙකි.නිදහස් ඉන්දියාවක් වෙනුවෙන් තම ශ්‍රමය කැප කිරීමට සිතූ ඔහු බ්‍රිතාන්‍ය යටත් විජිතවල කම්කරුවන් ලෙස සේවය කිරීම පිණිස ඉන්දියානුවන්ගෙන් ලබා ගෙන තිබූ පොරොන්දු පත්‍ර අවලංගු කිරීම සඳහා සත්‍යග්‍රහ සංවිධානය කළේය.ඉන් අනතුරුව ඉන්දීය ජාතික කොංග්‍රසයේ ද සහාය ඇතිව ,සහයෝගිතා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර උසාවි,ව්‍යවස්ථාදායක මණ්ඩල,අධ්‍යාපන ආයතන ආදිය පිළිනොගන්නා ලෙස ජනතාව දැනුවත් කළේය.මෙම සහයෝගිතා වර්ජන ව්‍යාපාරය රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම බ්‍රිතාන්‍ය පාලනයට ද බාධාවක් විය.කෙසේ වෙතත් මෙම ව්‍යාපාරයේ යෙදුණු කණ්ඩායමක් උත්තර ප්‍රදේශයේ පොලිසියේ කිහිප දෙනෙකුව මරණයට පත් කිරීම නිසාවෙන් සංවේගයට පත් ගාන්ධි එම ව්‍යාපාරය අවලංගු කර දැම්මේය.එම ක්‍රියාව නිසාවෙන් ඔහුගේ අනුගාමිකයෝ ගාන්ධි අතහැර යාමට තීරණය කළහ.

තමා වෙත පැමිණෙන සියලු අභියෝග වලට ධෛර්යයෙන් මුහුණ දුන් මහත්මා ගාන්ධිගේ ඊළඟ ක්‍රියාමාර්ගය වූයේ සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමයි.ඒ අනුව ඔහු විශාල ජන පිරිසකගේ සහභාගීත්වය සහිත,දැවැන්ත පා ගමන් සංවිධානය කළේය.මෙම පා ගමනයේ දී ගාන්ධි ඇතුළු දහස් ගණනක් සිර භාරයට ගැනිණි.එනමුත් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාත්මක කරනු ලබන උද්ඝෝෂණ සමථයකට පත් කොට ගැනීමේ අරමුණ ඇතිව අර්වින් ප්‍රතිරාජයා සීරභාරයේ සිටි ගාන්ධි නැවත ගෙන්වාගෙන ඔහු සමග සමථයකට එළැඹිණි.එසේම සිරභාරයේ සිටි දේශපාලන සිරකරුවන්ව ද නිදහස් කෙරුණු අතර මහජන විරෝධයට පාත්‍ර වූ පනත් කිහිපයක් ම ඉවත් කර ගැනිණි.

මෙම සියලු කර්තව්‍යයන් අතරතුර ඔහු ඉන්දියාව තුළ ශිල්පීය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ස්ථාපනය කිරීමට ද වෑයම් කළේය.වහල් මානසිකත්වය අත්හැර දැමූ නව ජාතියක් බිහි කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා මුලින්ම කළ යුත්තේ ළමුන් පුහුණු කිරීම බව ගාන්ධි පිළිගත්තේ ය.විදේශීය සංස්කෘතිය මත පදනම්ව සිදුකරන ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපන රටාව ළමයාගේ බුද්ධිය මෝට කිරීමක් ලෙස ගාන්ධි දුටුවේය.ඔහු අකුරු ඉගෙනීම පමණක් අධ්‍යාපනය ලෙස නොසැලකුවේ ය.ගාන්ධිට අනුව නියම බුද්ධිය නම් කර්මාන්ත ආශ්‍රිත කායික පුහුණුව හා ආත්ම විශ්වාසය මුසු වූ ආධ්‍යාත්මික සංවර්ධනය යි.එසේම පුද්ගල දියුණු ඔස්සේ සමාජ දියුණුව ඇතිකර ගැනීමයි.

කිසි විටෙකත් බ්‍රිතාන්‍යයන් ඉන්දියාවට පූර්ණ නිදහසක් ලබා නොදෙන බව වටහා ගත් ගාන්ධි විසින් බ්‍රිතාන්‍යයන් ඉන්දියාවෙන් එළවා දැමීම සඳහා "ඉන්දියාවෙන් ඉවත් වෙනු" නම් ව්‍යාපාරය ආරම්භ කරන ලදී. මෙය මහත්මා ගාන්ධිගේ ප්‍රබලතම ව්‍යාපාරය විය.මෙවර ඉල්ලීම වූයේ සම්පූර්ණ නිදහස සහ බ්‍රිතාන්‍යයන් ඉන්දියාවෙන් වහා පිටව යාමයි.වර්ෂ 1842 දී ගාන්ධි ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනුණු අතර ඔහුගේ බිරිඳ වූ කස්තුර්බා ගාන්ධි මාස දහඅටක් සිරගතව සිට මිය ගියාය.

මහත්මා ගාන්ධි අවිහිංසාවාදය පෙරටු කරගත් ජනතා සටනක් නිර්මාණය කළ නායකයෙකි.ඔහු නිතරම සිහින මැව්වේ ඉන්දියාව තුළ හින්දු සහ මුස්ලිම් ජනතාව සහජීවනයෙන් ජීවත් වනු දැකීමයි.නමුත් එම වෑයම අවබෝධ කර නොගත් හින්දු අන්තවාදියෙකු විසින් 1948 ජනවාරි 30 වන දින නවදිල්ලියේ දී මහත්මා ගාන්ධිව ඝාතනය කරන ලදී.ඒවන විට ඔහුගේ වයස අවුරුදු හැත්තෑ අටක් විය.
අද වන විට ජාත්‍යන්තර අවිහිංසාවාදී දිනය ලෙස සැලකෙන්නේ ද එතුමාගේ ජන්ම දිනය යි.

මහත්මා ගාන්ධි තුමාගේ ප්‍රකට කියමන්.

"අපට අපව වෙනස් කර ගත හැකිනම් ලෝකයද ඒ අනුව වෙනස් වනු ඇත.මිනිසෙකු තමාගේ ස්වභාවය වෙනස් කර ගන්නා විට ඔහු කෙරෙහි ලෝකයේ ආකල්පය ද වෙනස් වේ."

"මිනිසා යනු ඔහුගේ ම සිතුවිලිවල නිර්මාණයකි.ඔහු සිතන දේ ඔහුගේ යථාර්ථය බවට පත්වේ."

"පෘථිවිය සෑම මිනිසෙකුගේ ම අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් නමුත් සෑම මිනිසෙකුගේ ම තණ්හාව තෘප්තිමත් නොකරයි."

"ඔබට ලෝකය මෘදුව සෙලවිය හැක."

"ඔබ හෙට මැරෙනවා යැයි සිතා ජීවත් වන්න.ඔබ සදහටම ජීවත් වනවා යැයි සිතා ඉගෙන ගන්න."

"සමාව දීම දුර්වලයාට කළ නොහැකි අතර එය ශක්තිමත් අයගේ ගුණාංගයකි."

"අවිහිංසාව මනුෂ්‍යයා සතු බලවත් ම අවිය යි."

"ඔබ මනුෂ්‍යත්වය කෙරෙහි ඇති විශ්වාසය නැති කර ගත යුතු නැත.මනුෂ්‍යත්වය සාගරයක් වැනි ය.අපවිත්‍ර ජල බිංදු කිහිපයකට එය අපිරිසිදු කළ නොහැක."

වාසනා වික්‍රමසිංහ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required