/
/
title icon එක්සත් ජාතීන්ගේ සංවිධානය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය.
Wasana Wickramasingha
2 months ago
Share:
එක්සත් ජාතීන්ගේ සංවිධානය.

ක්‍රි.ව 1943 දී බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්,ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ප්‍රැන්ක්ලින් ඩෙලනො  රූස්වෙල්ට් සහ සෝවියට රුසියාවේ නායක ජෝෂප් ස්ටාලින් යන ලෝක බලවතුන් තිදෙනා විසින් ලෝක සාමය පවත්වාගෙන යාම සඳහා ජගත් සංවිධානයක අවශ්‍යතාවය මතු කරන ලදී.ඒ අනුව ඊට අදාළ මූලික ප්‍රතිපත්ති මාලාව ක්‍රි.ව 1945 දී සැකසිණි. එම ප්‍රතිපත්ති මාලාව රටවල් පනහක් විසින් අනුමත කිරීමෙන් අනතුරුව, ක්‍රි.ව 1945 ඔක්තෝබර් 24 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානය උපත ලැබීය. එම හේතුව මත ඔක්තෝබර් 24 වන දිනය "එක්සත් ජාතීන්ගේ දිනය"ලෙසින් හැඳින්වේ.ලොව විශාලතම ජාත්‍යන්තර සංවිධානය ලෙසින් සැලකෙන මෙහි වර්තමාන සාමාජිකයන් සංඛ්‍යාව එකසිය අනූ තුනකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ අරමුණු අතර මිත්‍ර සම්බන්ධතා වර්ධනය කිරීම, ජාත්‍යන්තර සාමය ආරක්‍ෂා කර ගැනීම,මානව අයිතිවාසිකම් සහ මූලික නිදහස තහවුරු කර ගැනීම,ආර්ථික,සාමාජීය සහ සංස්කෘතික ගැටළු විසඳීම යනාදිය ප්‍රධාන වී ඇත.මෙම සංවිධානය මූලික ආයතන හයකින් සමන්විත ය.එනම් මහ මණ්ඩලය, ආරක්ෂක මණ්ඩලය, ආර්ථික හා සාමාජීය කටයුතු පිළිබඳ මණ්ඩලය, භාරකාර මණ්ඩලය, ජාත්‍යන්තර අධිකරණය සහ මහ ලේකම් කාර්යාලය යි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාලය නිව්යෝර්ක් නුවර පිහිටා ඇති අතර එහි ශාඛා විශාල ප්‍රමාණයක් ලොව පුරා ව්‍යාප්තව පවතී.

මෙම සංවිධානයට අයත් සියලු ම රටවල් නියෝජනය කරන ප්‍රධාන ආයතනය මහා මණ්ඩලය යි.මෙම සභාවේ සැසිවාරය සෑම අවුරුද්දකම සැප්තැම්බර් මාසයේ දී පැවැත්වේ.එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්තියට අනුව සෑම කාරණයක් පිළිබඳව ම සාකච්ඡා කොට නිර්දේශ ඉදිරිපත් කිරීම මහා මණ්ඩලය විසින් සිදු කරනු ලබයි.මහ ලේකම් පත් කිරීම, ජාත්‍යන්තර අධිකරණයේ විනිශ්චයකරුවන් පත් කිරීම සහ නව සාමාජිකයන් සංවිධානයට බඳවා ගැනීම මහා මණ්ඩලය සතු අනෙකුත් කාර්යයන් ය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිත්‍ය සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සමන්විත වේ.එම සාමාජිකයන් පස්දෙනා වන්නේ රුසියාව,චීනය,ප්‍රංශය,බ්‍රිතාන්‍ය සහ ඇමරිකාවයි. මෙම ආරක්ෂක මණ්ඩලය විසින් ගනු ලබන තීරණ පිළිගෙන, ඒවාට අනුව කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ සංගමයේ සියලුම සාමාජිකයෝ බැඳී සිටිති.

ආර්ථික හා සාමාජයීය කටයුතු පිළිබඳ මණ්ඩලය අන්තර්ජාතික සහයෝගය තුළින් ආර්ථික හා සමාජීය වර්ධනය වැඩිදියුණු කිරීම අරමුණු කොටගෙන ක්‍රියාත්මක වේ. මෙම මණ්ඩලයට අනුබද්ධ තවත් ආයතන ගණනාවක් ද පවතී. ඒ අතර ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ආහාර හා කෘෂිකර්ම සංවිධානය, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික හා සංස්කෘතික සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානය,එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හා සංවර්ධනය පිළිබඳ අන්තර්ජාතික බැංකුව යන ආයතන ප්‍රධාන තැනක් ගනී.

එක්සත් ජාතීන්ගේ භාරකාර මණ්ඩලයේ ප්‍රධාන කාර්ය වන්නේ අන්තර් ජාතික භාරකාර ක්‍රමය යටතේ පවතින ප්‍රදේශ පාලනය කිරීම යි.එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිට වූ අවධියේ දී භාරකාර රාජ්‍ය එකොළහක් පැවත ඇත.

එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට අයත් විවිධ ආයතනවලට අදාල නීති සම්පාදනය කිරීමේ කාර්ය භාරව ඇත්තේ ජාත්‍යන්තර අධිකරණයට යි.සාමාජික රටවල් අතර පවතින ගැටලු සම්බන්ධව නීතිමය විසඳුම් ලබා ගැනීම සඳහා ද මෙම අධිකරණයේ පිහිට පැතිය හැක.

එක්සත් ජාතීන්ගේ ප්‍රධාන පරිපාලන කාර්යාලය, මහ ලේකම් කාර්යාලය ලෙස හැඳින්වේ.ජාත්‍යන්තර සාමයට හානිකර වන ඕනෑම ගැටළුවක් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කරවීමට මහලේකම්ට බලය ඇත.මෙම මණ්ඩලය පළමුවරට රැස්වූයේ ක්‍රි.ව 1946 දී ය. එම ආරම්භක රැස්වීමට සාමාජිකයෝ තිස් එකක් සහභාගි වී ඇත.වර්තමාන මහ ලේකම් ධූරය දරන්නේ පෘතුගාලයේ හිටපු අගමැතිවරයෙකු වන අන්තෝනියෝ ගුටරෙස් මහතා ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සාමය සඳහා ගත් ප්‍රයත්න අතර පරමාණු බලශක්ති පාලනය, වර්ණ භේදවාදී ගැටුම් වැළැක්වීමට පියවර ගැනීම, අධිරාජ්‍යවාදයට විරුද්ධ ව්‍යාපාර සඳහා ආධාර සැපයීම,ආහාර හා කෘෂිකර්මාන්තය දියුණු කිරීමට පියවර ගැනීම,ලෝක සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම යන කරුණු කැපී පෙනේ.

ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය 1955 වර්ෂයේ දී ලබා ගන්නා ලදී.කොළඹ හත බෞද්ධාලෝක මාවතේ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය පිහිටා ඇත.මෙම සංවිධානය ශ්‍රී ලංකා රජය,රාජ්‍ය නොවන සංවිධාන සහ මෙරට මහජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින අතර විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා ද සිය දායකත්වය සපයයි.

වාසනා වික්‍රමසිංහ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required