/
/
title icon ආචාර ධර්මීය පුවත්පත් වාර්තාකරණයක් සොයා.
ආචාර ධර්මීය පුවත්පත් වාර්තාකරණයක් සොයා.
Wasana Wickramasingha
3 months ago
Share:
ආචාර ධර්මීය පුවත්පත් වාර්තාකරණයක් සොයා.

වර්තමානයේ මෙරට පුවත්පත් කලාව වඩාත් තරගකාරී මුහුණුවරක් ගෙන ඇති අතර ඒත් සමඟම විනයානුකූල, වියත් වාර්තාකරණයෙන් ඈතකට ගොස් ඇත. පුවත්පත් ආචාර ධර්ම පිළිබඳව සැලකිලිමත් වන රාජ්‍ය හා පෞද්ගලික ආයතන පැවතිය ද ආචාර ධර්ම කඩ කරමින් තම ලේඛන වෘත්තියේ නියැලෙන මාධ්‍යවේදීන් ඕනෑ තරම් ය.එබඳු ක්‍රියා පිළිබඳව ප්‍රශ්න නොකරන තාක් කල් , සදාචාරාත්මක සහ ප්‍රමිතිගත පුවත්පත් කලාවක් මෙරට බලාපොරොත්තු විය නොහැක.

සෑම පත්‍ර කලාවේදියෙකු විසින්ම තමා විසින් ලියන ලද ලිපියක් පළ කිරීමට පෙර එහි වන සත්‍යාසත්‍යතාවය  නිශ්චය කර  ගත යුතුය. ඊට හේතුව වන්නේ වැරදි තොරතුරු පළ වීමෙන් අනතුරුව නිර්දෝෂී පුද්ගලයන් පවා සමාජ දෝෂ දර්ශනයට භාජනය විය හැකි වීම ය. තවද දෝෂ සහිත දත්ත ජනගත වූ පසු ඇතිවන කලබලකාරී තත්ත්වයන් සමනය කිරීම ද එතරම් පහසු නොවේ.එසේම පවත්නා සැබෑ තත්ත්වය විකෘති කොට ලිවීම ද අනුමත කළ නොහැකි කරුණකි.පුවත්පත් කලාවේදියා තම පෑන හසුරුවන ආකාරය මත යම් කරුණක් පිළිබඳව සමාජය දරන මතය සහමුලින් ම වෙනස් විය හැක. මෙම හැකියාව ප්‍රයෝජනයට ගෙන, ජන මතය වෙනස් කිරීමේ මෙවලමක් ලෙසින් පුවත්පත් කලාව යොදා ගන්නා තත්ත්වයක් වර්තමානයේ දී ප්‍රදර්ශනය වේ.

රසවත් සිදුවීම් කියවීමට බොහෝ දෙනා කැමති ය. නමුත් ඇතැම් වාර්තා කිරීම් ඔස්සේ සමාජ සදාචාරයට දැඩි බලපෑමක් සිදුවේ නම් ඒ පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුය.පුවත්පතේ අලෙවිය පමණක් ම නොව, ගුණාත්මක බව පිළිබඳව ද වැඩි අවධානයක් යොමු විය යුතුය. විශේෂයෙන් දිවි තොර කර ගැනීම්, අසම්මත සමාජ සම්බන්ධතා, පර පීඩක ක්‍රියාකාරකම් ආදිය වාර්තා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු බොහෝ ය.සියදිවි නසා ගැනීම් වාර්තා කිරීමේදී ද පාඨක ප්‍රජාව වෙත ලබා දිය යුත්තේ සෘණාත්මක පෙළඹවීමක් නොවේ. එවැනි සිතිවිලිවලට බාධා කිරීමක් වශයෙන් හදිසි උපකාරක අංක පළ කිරීම වැදගත් ය.ඒ හරහා යම් ගැටලුවකට මුහුණ දී සිටින පුද්ගලයන්ව මනෝ උපදේශය වෙත යොමු කරවා ගත හැකි ය. ජාතික මානසික සෞඛ්‍ය ආයතනය, ශ්‍රී ලංකා සුමිත්‍රයෝ,ශාන්ති මාර්ගම් වැනි ආයතන එවැනි උපදේශන සේවා ලබාදීම වෙනුවෙන් කැපවී සිටී. සියදිවි නසාගත් තැනැත්තා දිවි තොර කරගත් ආකාරය ඉතා රසබර කොට, චිත්ත රූප ජනනය වන අන්දමින් වාර්තා කිරීම නුසුදුසු ය. සැබවින්ම පුවත්පතක මුල් පිටුව වෙන්විය යුත්තේ ද එවැනි සෘණාත්මක සිදුවීම් සඳහා නොව රටේ පොදු ජනතාවට යහපතක් සිදුවන අන්දමේ පුවත් පළ කිරීම වෙනුවෙන් ය.

වර්තමානයේ දැකිය හැකි තවත් සුලභ තත්ත්වයක් වන්නේ කාන්තාව වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීම ය.වියත් වාර්තාකරණ රටාවක් තුළ දී සිදුවිය යුත්තේ ස්ත්‍රියගේ ගෞරවය සුරක්ෂිත කිරීම ය.සමාජ අසාධාරණකම්වලට මුහුණ දුන් කාන්තාවන් පිළිබඳව වාර්තා කිරීමේදී "සුරූපී නිළිය" , "රූමත් තරුණිය" වැනි විශේෂ හැඳින්වීම් භාවිතය දක්නට ලැබේ.නමුත් එවැනි පද භාවිතයක් අර්ථ විරහිත ය. එලෙස අදාළ කාන්තාවගේ බාහිර ස්වරූපය අනවශ්‍ය පරිදි  විස්තර කිරීම ඔස්සේ බොහෝ විට සිදුවන්නේ, ඇයව ලිංගික වස්තුවක් ලෙස හුවා දැක්වීමක් පමණි.පුවත්පතේ කාටූන් සිතුවම් කිරීමේදී ද ස්ත්‍රී අඟපසඟ අනවශ්‍ය ආකාරයෙන් ඉස්මතු කර පෙන්වීමට තැත් කිරීම සුදුසු නොවේ. එලෙස හැඟීම් කළඹවන සුළු රූප චිත්‍රනය කිරීම වෙනුවට ජනගත කළ යුතු පණිවිඩය පමණක් නිරවුල්ව ලබා දීම අගනේ ය.

සෑම පත්‍ර කලාවේදියෙකුම තමාට තොරතුරු සපයන තැනැත්තාගේ රහස්‍ය භාවය සුරැකිය යුතුය. ඒ අනුව අවසරයකින් තොරව තොරතුරු සැපයූ තැනැත්තාගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ නොකළ යුතුය. යමෙකුගේ ඡායාරූපයක් බලෙන් ලබා ගැනීම ද ආචාර ධර්ම විරෝධී ය. විශේෂයෙන් පොදු ස්ථානවල සිටින පුද්ගලයන්ගේ ඡායාරූප ඔවුන්ගේ කැමැත්තකින් තොරව කැමරා ගත කර ගැනීම අනුමත කළ නොහැකි ය. ඡායාරූපයකට කැමැත්තෙන් පෙනී සිටින පුද්ගලයන්ට ද එම ඡායාරූපය භාවිතා කරන්නේ කුමක් සඳහා ද? කවදා ද? කෙසේ ද? යනාදී කරුණු නිවැරදිව දැනුවත් කළ යුතුය.

යමකුගේ පුද්ගලික ජීවිතයේ තොරතුරු සහ කීර්ති නාමය කෙලෙසෙන අන්දමේ තොරතුරු රිසි පරිදි වාර්තා කිරීම ද ආචාර ධර්මීය නොවන ක්‍රියාවකි. තවද පුද්ගලයකුට නිගරු වන අන්දමේ නිශේධනාත්මක යෙදුම් භාවිතා නොකළ යුතුය. ටියුෂන් ගුරා,චීනා,නාකියා,හිඟන්නා,කොන්දා,පොලිස් කාරයා,චීවර ධාරියා, මාළුකාරයා වැනි යෙදුම් තරමක් නින්දා සහගත ය.එබඳු නිශේධනාත්මක නාමකරණයන් ඔස්සේ සමාජයේ ගැවසෙන එම කුලයට අයත් අනෙකුත් නිර්දෝෂී පුද්ගලයන්ව පවා ඒකාකෘතික කරලීමක් සහ කොන් කර දැමීමක් සිදුවේ.යම් අපරාධයක් සම්බන්ධව වාර්තා කිරීමේදී ද චෝදනා ලැබූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්, ඥාතීන් ආදි පිරිසගේ නම්,ගම් (සමාජ යහපත පිණිස නොවේ නම්) හෙළි කිරීම නුසුදුසු ක්‍රියාවකි.

මෙරට පුවත්පත් කලාව තුළ දැකිය හැකි තවත් ප්‍රබල සිදුවීමක් ලෙස පක්ෂග්‍රාහී වාර්තාකරණය දැක්විය හැක. පුවත්පත් ආයතන හිමිකාරීත්වය මත පදනම්ව ඔවුන්ගේ දෘෂ්ටිකෝණයම ජන මතය බවට පත්කරලීමට වෑයම් කිරීම බොහෝ කලක සිට සිදුවෙමින් පවතී.විශේෂයෙන් දේශපාලනික කරුණු වාර්තා කිරීමේදී සමබර වාර්තාකරණයක් දැකගැනීම ඉතා අපහසු ය.පත්‍ර කලාවේදියෙකු අල්ලස් ගැනීම් වැනි තම වෘත්තීය ගරුත්වය කෙලෙසෙන ආකාරයේ ක්‍රියා සිදු නොකළ යුතු අතර ඇත්ත ඇති සැටියෙන්, සමබරව පාඨකයා වෙත ලබා දිය යුතුය.

ආචාර ධර්මානුකූල මාධ්‍යකරණයක් තුළින් සමස්ත සමාජයට ම සිදුවන ධනාත්මක බලපෑම අති මහත් ය.ලොව පැරණි ම මාධ්‍ය වන පුවත්පත් කලාවේ වෘත්තීය ගරුත්වය සුරැකීමට නම් පුවත්පත් කලාවේදියා සතුව එම වෘත්තියේ නියැලීමට තිබෙන ශාස්ත්‍රීය සුදුසුකම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. තම කාර්යයේ විශ්වාසවන්තභාවය සහ ප්‍රමිතිය සුරකින ලේඛකයන් මෙරට නැතුවාම නොවේ.එබඳු වෘත්තිකයන් නිසියාකාර ඇගයීමකට පාත්‍ර කිරීම ද අගනා කටයුත්තකි.


වාසනා වික්‍රමසිංහ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required