/
/
title icon වාරි තාක්ෂණය.
වාරි තාක්ෂණය.
Wasana Wickramasingha
2 months ago
Share:
වාරි තාක්ෂණය.

මෙරට වාරි කර්මාන්තය අනුරාධපුර සහ පොළොන්නරු යුග වල දී ඉතා වේගයෙන් සංවර්ධනය විය.එකල පාලන බලය දැරූ වසභ,මහසෙන්,ධාතුසේන,වැනි රජවරුන්ගේ නිරන්තර රාජ්‍ය අනුග්‍රහයන් මීට හේතු විය. ශ්‍රී ලංකාවේ පැවති ඉපැරණි වාරි තාක්ෂණය ලොව කොතැනක හෝ දැකගත නොහැකි ආකාරයේ අන්‍යතා ලක්ෂණවලින් සහ දියුණු තාක්ෂණික ශිල්ප ක්‍රම වලින් සමන්විත ය.ගලා යන ඔයක්,ගඟක් හෝ දිය පහරක් හරස් කොට වැව් නිර්මාණය කර ඇති අතර ඒවා ජල ගැලීමකට මෙන්ම පෘථිවි ඛාදන අවස්ථාවකට වුව ද ඔරොත්තු දීමට සමත් අයුරින් තනා ඇත.මේ සඳහා අවශ්‍ය  පොහොසත් ශිල්පීය ඥානයක් එකල විසූ ලාංකික ජනතාව සතු විය.වැවක් ඉදිකිරීමේදී අනුගමනය කළ යුතු නියමිත තාක්ෂණික ශිල්ප ක්‍රම පවතී. ඒවා නිවැරදිව අනුගමනය කිරීම හරහා වාරි මාර්ග පද්ධතියේ ප්‍රමිතිය ආරක්ෂා කර ගත හැක.

වැව ආශ්‍රිත තාක්ෂණික අංග.

වැව් බැම්ම.

වැවකට වැව් බැම්මේ ස්ථාවරත්වය ඉතා වැදගත් ය.ගලා යන ජල පහරක් හරස් කර බැම්මක් බැඳීමේදී එකිනෙකට ළංව පිහිටි කඳු ගැට දෙකක් සම්බන්ධ කර ගත් බව දක්නට ලැබේ. ජලය රැස්වන උස් බිමේ පාෂාණ සංයුතිය පිළිබඳව සොයා බැලීම ද මෙහි දී වැදගත් ය. මින්නේරිය වැව ඉදිකර ඇත්තේ ද එලෙස පොළොවේ ක්වාට්සයිට් පාෂාණ විහිදීම සලකා බලා ය. පාෂාණ ස්ථරවල ආනතිය වැව ඇතුලට නැමී පවතින අවස්ථාවක් තෝරා ගැනීම වැව් බැම්ම නිර්මාණයේ දී සැලකිලිමත් වූ තවත් කරුණකි.

සළපනාව.

සුළඟ නිසා ඇතිවෙන වැවේ දිය රැළි නිසාවෙන් වැව් බැම්මට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා සළපනාව ඉදිකර ඇත.වැව් බැම්මේ ආරක්ෂාව සඳහා එහි ඇතුල් පැත්තේ පාදමේ සිට ඉහළ ජල මට්ටම දක්වා කළුගල් අතුරා සළපනාව සකස් කර ගනී. මෙය ඉඳිකිරීමේ ප්‍රධාන ම අරමුණ වන්නේ වැව් බැම්ම  සේදී යාම වළක්වා ගැනීමයි.

සොරොව්ව.

වැවේ රැඳ වූ ජලය කෙත්බිම් කලා ගෙනු පිණිස ඇළට ජලය මුදාහැරීම සඳහා සකස් කර ඇති නිර්මාණය සොරොව්ව ය.පැරණි වැව්වල ඉතාමත් සියුම්ව,ජලය කාන්දු නොවන ලෙස මෙය නිමකර ඇති අයුරු පුදුමාකාර ය. මෙය කළුගලෙන් නිර්මාණය කරන අතර ගොඩ සොරොව්ව හා මඩ සොරොව්ව ලෙස දෙයාකාරයෙන් පවතී. වැවේ ජල මට්ටම ඉහළ තිබෙන විට ජලය සැපයිය හැකි අයුරින් ඉහළ ජල මට්ටමේ පිහිටි සොරොව්ව ගොඩ සොරොව්ව ලෙස හැඳින්වේ.වැව් බැම්මේ පහළ මට්ටමින් මඩ සොරොව්ව පිහිටා ඇති අතර මඩ ඉවත් කිරීම සහ ජල මට්ටම පහළ ගිය අවස්ථාවල දී ජලය බෙදා හැරීම සඳහා එය යොදා ගනී. ඇළ හෑරී යාම වැළැක්වීම සඳහා සොරොවේ වැව පැත්තේ සිදුර කුඩාවටත් ඇළ හා සම්බන්ධ වන පිටත විවරය විශාල  ලෙසත් සකස් කර ඇත.

බිසෝ කොටුව.

සොරෝව හරහා ජලය පිටතට යැවීමේ දී වැව් වැව් බැම්මට වන හානිය වළක්වා ගැනීම සඳහා බිසෝකොටුව නිර්මාණය කොට ඇත. හතරැස් කොටුවක හැඩයට තනා ඇති මෙය මෙරට වාරි කර්මාන්තය සතු වූ තාක්ෂණික දියුණුව කියා පාන්නකි. අවශ්‍ය වෙලාවට සහ අවශ්‍ය ප්‍රමාණයට ජලය නිකුත් කිරීමට යොදා ගන්නා විශේෂ ජල පාලන උපකරණයක් ද බිසෝ කොටුවෙහි ඇත. එය "මොහොල"නමින් හැඳින්වේ.

පිටවාන සහ ඇතුළුවාන

වැවේ අතිරික්ත ජලය පිට කිරීම සඳහා ශක්තිමත්ව සකස් කළ නිර්මාණයකි, පිටවාන. වැව් බැම්මේ කෙළවරක,වැව් බැම්මේ මට්ටමට පහත් වන සේ ගල් පුවරු යොදා මෙය සකස් කර ඇත. අතිරික්ත ජලය පිටවාන ඹස්සේ බැස යාම හේතුවෙන් වැව් බැම්ම ආරක්ෂා වේ.බාහිර ජල සැපයුමක් මගින් වැවකට ජලය සපයන අවස්ථාවල දී එම ඇළ මාර්ගය වැවට විවෘත කරනු ලබන්නේ ඇතුළුවන මගින් ය. ජල මාර්ග දිගේ ගලා එන රොන් මඩ වැවට යාම වළක්වා ගැනීම ඇතුළුවාන ඉදිකිරීමේ ප්‍රධාන අරමුණයි. මෙම පිටවාන තරම් ශක්තිමත්ව ඉදිකරන්නේ නැත. බාහිර ජල සැපයුම් නවතා දමා,ඇතුළුවානට පිටින් ගොඩ ගැසෙන රොන්මඩ ඉවත් කිරීමේ ක්‍රියාවලිය සිදුවේ.

ඉස් වැටි.

ඉස් වැටි නැතහොත් පෝටා වැටි ලෙස හඳුන්වන මේවා පස් වලින් සකස් කර ඇති වැටි විශේෂයකි. ඉස් වැටි හේතුවෙන් බෑවුම් දිගේ ගලා එන රොන් මඩ වැවට පැමිණීම වැළැක්වීමත් උස් බිම් පාමුල  තෙතමනය ආරක්ෂා වීමත් සිදුවේ.

වැව් තාවුල්ල.

වැවේ උපරිම ජල මට්ටම සලකුණු කරන, වැව වටා ඇති ප්‍රදේශය තාවුල්ල යනුවෙන් හඳුන්වයි. මෙම ප්‍රදේශය ඉතා සිසිල් අතර පවත්නා තෙතමනය හේතුවෙන් කුඹුක්, තිඹිරි, මී වැනි ශාක බහුලව දැකිය හැක.

කුළු වැව්.

මේවා කුඩා වැව්ය. කුළු වැවට රොන්මඩ එකතු වීම නිසා මහ වැවට රොන්මඩ එකතු වීම වැළකී යයි. මහ වැවට අතිරික්ත වර්ෂා ජලය ගලා ඒම වැළකීම ද කුළු වැව් නිසා සිදුවේ. ජලය හිඟ වූ අවස්ථාවලදී කුළු කුළු වැවෙන් මහ වැවට ජලය සැපයීම ද සිදු වේ.

කළිඟු බැමි.

වැවක පිටවානට පෙර, වැව් බැම්මට ලම්භකව, වැව හරහා යොදා ඇති, එතරම් උස් නොවූ බැමි කළිඟු බැමි ලෙසින් හැඳින්වේ. පිටවානේ මට්ටමට වඩා මෙය පහත් අතර  වැවේ ජලය පිරුණු අවස්ථාවල දී එම ජලයට යට වී පවතී. කලිඟු බැමි ඉදි කර ඇත්තේ පිටවාන දුර්වල වී කැඩී යාමෙන් සිදුවන හානිය අවම කර ගැනීමට ය.

මෙවැනි විධිමත් ඉදිකිරීම් තාක්ෂණයක් උපයෝගී කරගෙන නිර්මාණය වූ  මෙරට වැව් පද්ධතිය  සියවස් ගණනාවක් මුළුල්ලේ ලාංකීය ජනතාවට සෙත සලසමින් සිටී.කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සපයා ගැනීමට අමතරව වැවකින් ලබාගත හැකි තවත් ප්‍රයෝජන රාශියකි.බීමට, දිය නෑමට, වගා කටයුතු සඳහා යොදා ගන්නා සත්ත්වයින් පිරිසිදු කිරීමට,ඕලු,නෙළුම්, මානෙන් වැනි මල් වර්ග නෙළා ගැනීමට, ධීවර කර්මාන්තය සිදුකරගෙන යාමට මෙන්ම මනරම් නිසංසල පරිසරයක සුවය විඳීමට ද වැව සහ ඒ ආශ්‍රිත පරිසරයෙන් සැපයෙන්නේ මහඟු දායකත්වයකි.

වාසනා වික්‍රමසිංහ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required