
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගැන්වීම සඳහා සිය ආරක්‍ෂක නිලධාරීන්ට ආධාර අනුබල දීමේ චෝදනාවන්ට බරපතල වැඩ සහිත වසර 03 සිරදඬුවම් නියම කර ඇති තමන්ට ඇප නියම කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කළ ඉල්ලීම සම්බන්ධයෙන් ලිඛිත විරෝධතා නීතීපතිවරයා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතාට අද භාර දුන්නා.
වසර 09ක කාලයකට ඉහතදී කළ අපරාධයක් සම්බන්ධයෙන් වු චෝදනා 19න් 18කටම වරදකාරිය බවට තීන්දු කරමින් වසර 03කින් ගෙවී යන අන්දමින් තමන්ට නියම කළ වසර 33ක බරපතල වැඩ සහිත සිරදඬුවම සහ රුපියල් ලක්‍ෂ 3 1/2ක දඩය ඉවත දමන්නැයිද අදාළ අභියාචනය විභාග කර තීන්දුවක් දෙනතුරු තමන්ට ඇප නියම කරන්නැයිද ඉල්ලමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය කැඳවු අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ විශ්ව විජේසූරිය මහතා අදාළ විරෝධතා ලිඛිතව ඉදිරිපත් කළා.
අදාළ තීන්දුවට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගොනු කළ මෙම අභියාචනා පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරයා නම් කර තිබෙනවා.
නඩුවේ මුල් අවස්ථාවේදීම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ රැකවලුන් වශයෙන් කටයුතු කළ ආරක්‍ෂක නිලධාරීන් 08 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12කට අත්හිටුවන ලද සිරදඬුවම් සහ රුපියල් 165,000ක දඩ නියම කළ අතර පැහැරගෙන ගිය දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයාට රුපියල් 285,000 වන්දියක් ගෙවීමටද නියම කෙරුණා.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පමණක් නිවැරදිකරු බව පැවසීම හේතුවෙන් ඇයට එරෙහි නඩුව විභාග කිරීමට පියවර ගත්තා.
පසුව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි අධිචෝදනා 19න් 18කටම ඇය වැරදිකාරිය බව තීරණය කරමින් ඇයට දඬුවම් නියම කෙරුණා.