/
/
title icon ඔබත් ජීවිතය එපා වූ අයෙක් ද ?
ඔබත් ජීවිතය එපා වූ අයෙක් ද ?
Uresha Perera
1 month ago
Share:
ඔබත් ජීවිතය එපා වූ අයෙක් ද ?

වර්තමානයේ පුවත් විකාශයන් තුළ දෛනිකව අසන්නට දකින්නට ලැබෙන සිය දිවි හානි කර ගැනීම් පිළිබඳ පුවත් සුලබය.එය අද වන විට අතිශය සාමාන්‍යකරණයට පත් වෙමින් පවතී.වසරකට දස ලක්ෂයකට අධික පිරිසක් සිය දිවි නසා ගැනීම් සිදු කරන බව වාර්තාවකින් තහවුරු වී තිබේ.සිය දිවි නසා ගැනීමට විවිධ හේතු සාධක බලපායි.ඉච්ජාභංගත්වය,මානසික අවපීඩනය,මිනිස් චින්තනයේ ඇති වන විවිධ ආවේග,විකෘති පෞරුෂය මේ සදහා බලපායි.
අනෙකුත් රටවල් වලට වඩා ශ්‍රී ලංකාවේ සිය දිවි නසා ගැනීම් ඉහළ මට්ටමක පවතී.බටහිර රටවල අවුරුදු 50ට වැඩි ප්‍රජාව සිය දිවි නසා ගැනීමට යොමු වුවත් ලංකාව තුළ විශේෂයෙන්ම අවුරුදු 20-30ත් අතර වයසේ පසු වන්නන් සිය දිවි නසා ගැනීමට යොමු වීම ඛේදවාචකයකි .
සිග්මන් ෆ්‍රොයිඩ් , සදර්ලන්ඩ් එමිල් නම් මනෝවිද්‍යාඥයින් පවසන ආකාරයට මිනිස් සමාජයේ බලපෑම හේතු කොට ගෙන මිනිසා සිය දිවි නසා ගැනීම් වලට යොමු වන බවයි.මේ සදහා පුද්ගලයා සමාජානුයෝජනය වන පරිසරයට අයත්  පවුල,යහළුවන් යන අය බලපායි.කිසියම් පවුලක් තුළ ජීවත් වන දරුවකු එම පවුලේ ආභාසය ලබා ගනී.පවුල තුළ අවුල්සහගත තත්ත්ව පවතී නම් ඒවා කුඩා කළ සිටම මනසට බලපායි.අනතුරුව එම බලපෑම් හේතු කොට ගෙන මනස ව්‍යාකූල භාවයට පත් වේ.
මේ සදහා සන්නිවේදනයේ පවතින දුර්වලතාද බලපානු ලබයි.සිතට යම් ආවේගකාරී විකෘති සිතුවිල්ලක් පැමිණි විට එයට සවන්දෙන්නට කෙනෙකු සිටීම අත්‍යවශ්‍යයි.එවිට එම ගැටලුවට විසදුමක් හෝ අවම වශයෙන් සිත නිදහස් වීම ඒ ඔස්සේ සිදු වේ.අද වන විට තරුණ තරුණියන් තම කෝපය ආවේග ආදිය සදහා එකම විසදුම ජීවිතයෙන් සමු ගැනීම බව තීරණය කරයි.එහෙත් එය වැරදි සිතුවිල්ලක් බව ඔවුන්ට වැටහෙන්නේ නැත.ඉවසීම ජීවිතයට පුරුදු කර ගත යුතුය.එයට පුද්ගලයා ආගම හා සමීපව සිටීම උපකාර වේ.
කෙසේ නමුත් පාසල් ළමුන් පිළිබඳව ලංකාව තුළ සිදු කරන ලද පර්‍යේෂණයක් තුළින් අනාවරණය වූයේ අවු:8ත් 20ත් අතර සිය දිවි නසා ගැනීම්වලට මූලික හේතු ලෙස ප්‍රේම සම්බන්ධතා නිසා ඇති වන කලකිරීම් හා බලාපොරොත්තු කඩවීම් ද වැඩිහිටියන් සමග ඇති වන ගැටලු ද හේතු සාධක වී ඇති බවයි.රට ලෝකය භාර ගැනීමට සිටින දරුවන්ගේ අනාගතය සුරැකීම කාගේත් වගකීමකි.
දෙමාපියන් තම දරුවන් පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුය.
පාසල් තුළ ශිෂ්‍ය උපදේශන,ළමා මිතුරු පරිසරයක් නිර්මාණය කළ යුතුය.
මාධ්‍ය මගින් ඉතා වගකීමෙන් යුතුව සිය දිවි නසා ගැනීම් පිළිබඳව වාර්තා කළ යුතුය.
මනෝ විද්‍යාඥයින්ගේ දායකත්වයෙන් යුතු වැඩසටහන් ප්‍රදර්ශනය කිරීම.
ආදිය සිදු කරලීම හරහා අප රට තුළ සිදු වන සිය දිවි හානි කර ගැනීම් අවම වේ යැයි බලාපොරොත්තු විය හැකිය.

"දුල්ලභෝ මනුස්සත්තභාවෝ "

මිනිසත්බව ලැබීම දුර්ලභය.එම දුර්ලභ මිනිසත් බව රැකගෙන ඉවසීමෙන් යුතුව  ජීවත්වීමට පුරුදු වෙමු.
 

උරේෂා පෙරේරා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required