/
/
title icon පිති හරඹයෙන් කිරුළු පළන් ඇය.
පිති හරඹයෙන් කිරුළු පළන් ඇය.
Wasana Wickramasingha
1 month ago
Share:
පිති හරඹයෙන් කිරුළු පළන් ඇය.

"ඹබට යමක් පිළිබඳව සිහින මැවිය හැකි නම්,එම සිහිනය යථාර්ථයක් කර ගැනීමේ හැකියාව ද ඔබ සතු යි" යන කියමනට, අරුතක් එක් කළ තරුණියක් සමඟයි අද කතා බහ.කුඩා කල පටන් දුටු ක්‍රිකට් සිහිනය සැබෑවක් කරගත් ඇය, එතැනින් නොනැවතී තවත් බොහෝ ජයග්‍රහණ ද අත්පත් කර ගනිමින්, ක්‍රීඩා ක්ෂේත්‍රයේ තාරකාවියක් බවට පත්වෙමින් සිටිනවා.වර්තමානයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංවර්ධන සංචිතය නියෝජනය කරන ඇය නමින්, නිමේෂා තාරුණි විජේසුන්දර.
ආයුබෝවන්! කියලා ඔබව පිළිගන්නවා.ඉතින්,මේ දිනවල ඔබේ වැඩ කටයුතු කොහොමද?

ආයුබෝවන් !
මේ දවස්වල පුහුණුවීම් කටයුතුවල නිරත වෙලා ඉන්නවා. ඒ වගේම ක්‍රිකට් තරඟ විනිසුරුවරියක් විදිහටත් කටයුතු කරනවා.බොහෝ වෙලාවට නිවාඩු දවස් තමයි ඒ වෙනුවෙන් වෙන් කරගන්නේ.

ඔබේ පවුලේ විස්තර සහ අධ්‍යාපනය ලැබූ පාසල් පිළිබඳව මතක් කළොත්?

මගේ පවුලේ අම්මා,තාත්තා,අයියා සහ නංගිලා දෙන්නා ඉන්නවා.එක වසරේ සිට පහ වසර දක්වා වල්පිටමුල්ල ප්‍රාථමික විද්‍යාලයෙනුත් හය වසරේ සිට දහතුන වසර දක්වා මාරපොල ජාතික පාසලෙනුත් අධ්‍යාපනය ලැබුවා.මුලින්ම ක්‍රිකට් ක්‍රීඩාව  ආරම්භ කරන්නෙත් මාරපොල ජාතික පාසලෙන්,2017 වර්ෂයේ දී.

ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට කුඩා කල සිටම ඇලුම් කළ චරිතයක් නේද?

අනිවාර්යෙන්ම. පොඩි කාලෙ ඉඳන්ම ක්‍රිකට් ගැන ලොකු ආසාවක් තිබුණා. ඒ කාලේ ගෙවල් ළඟ අයියලා එක්ක හැමදාම වගේ හවසට ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඇත්තටම ඒ වෙලාවට මම එයාලටත් වැඩිය හොඳට ක්‍රිකට් සෙල්ලම් කරනවා.ඒ දේවල් එක්ක මට ම තේරෙන්න ගත්තා ක්‍රිකට්  ගැන යම් මට්ටමක දක්ෂතාවයක් තියෙනවා කියලා.ඉතින් පසු කාලයේදී පාසල් ක්‍රීඩා කණ්ඩායමට එකතු වෙන්නත් හේතු වෙන්නේ කාලයක් පුරාවට හිතේ තිබුණු ඒ ආසාව.

මෙතෙක් ආ ගමනේදී ඔබ ලබාගත් ක්‍රීඩා ජයග්‍රහණ පිළිබඳව සිහිපත් කළොත්?

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංවර්ධන සංචිතය නියෝජනය කරන්නට ලැබීම මම ලබපු ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම 2021 වසරේ සන්ඩේ ඔබ්සර්වර් - SLT මොබිටෙල් පාසල් ක්‍රිකට් ක්‍රීඩා සම්මාන උළෙලේ වසරේ දක්ෂතම පිතිකාරිනිය වීමට ලැබීම, 2020 සහ 2021 යන දෙවසරේ ම සන්ඩේ ඔබ්සර්වර් - SLT මොබිටෙල් පාසල් ක්‍රිකට් ක්‍රීඩා සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියතම පාසල් ක්‍රීඩිකාව බවට වීම සහ 2019 වර්ෂයේ දී එම තරඟාවලියේ ම වසරේ ජනප්‍රියතම පාසල් ක්‍රීඩිකාව - දෙවන ස්ථානය හිමි කරගන්න ලැබීම මතක් කරන්න කැමතියි.2019 වර්ෂයේ ක්‍රිකට් පාසල් මහා තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය බවට පත් වෙන්නත් හැකියාව ලැබෙනවා. ඒ වගේම 2018 වර්ෂයේ විසි තුනෙන් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමටත් එම වර්ෂයේදී ම පැවති සිංගර් කුසලාන පාසල් ක්‍රිකට් තරගාවලියේ දිවයිනේ පස්වන ස්ථානය ලබාගැනීමටත් පුළුවන්කම ලැබුණා.ක්‍රිකට් වලට අමතරව එල්ලේ, නෙට්බෝල්, වොලිබෝල්, යගුලිය, කව පෙත්ත, හෙල්ල විසිකිරීම, උස පැනීම, දුර පැනීම, දිවීම වගේ තරඟවලින් කොට්ඨාශ , කලාප මට්ටම්වල ජයග්‍රහණ වගේම යෞවන සමාජ කණ්ඩායම් හරහාත් ජයග්‍රහණ රැසක් හිමිකර ගත්තා.2019 වර්ෂයේ පාසල් පළාත් එල්ලේ තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමටත් හැකියාව ලැබුණා.

එවැනි ජයග්‍රහණවලට අමතරව දක්ෂ නායිකාවකගේ භූමිකාවත් නොයෙක් වර නිරූපණය කළා නේද?

ඇත්තටම,2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා පාසලේ ක්‍රීඩා නායිකාව ලෙස අත්දැකීම් ගොඩක් ලබාගන්න පුළුවන් වුණා.ඒ වගේම මගේ පාසලේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව විදිහට වසර තුනක් කටයුතු කළා.පාසලේ එල්ලේ කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කරලා තියෙනවා.

ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඔබ ආදර්ශයට ගන්නා චරිත කවුරුන්ද?

දේශීය මට්ටමෙන් ගත්තොත්, ශෂිකලා සිරිවර්ධන, චමරි අතපත්තු වැනි ක්‍රිඩිකාවන්. විදේශීය මට්ටමින්, මිතාලියා රාජ්,සුසී බේට්ස්,මැග් ලැනින් කියන අයත් මම ප්‍රිය කරන ක්‍රීඩිකාවන් අතර ඉහළින් ම ඉන්නවා.ඒ අයගෙන් තව ගොඩක් පාඩම් ඉගෙන ගන්න තියෙනවා කියලා මම හිතනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත තරුණියක් විදිහට මේ වනවිට ඔබ ඔබගේ අනන්‍යතාවය තහවුරු කර ගනිමින් ඉන්නවා.නමුත් මෙතෙක් පැමිණි ගමන් මගේ විවිධ බාධක, අභියෝග තියෙන්නට ඇති.ඒ ගැනත් සඳහන් කරමු නේද?

අනිවාර්යයෙන්ම. පාසල් කාලයේදී ඉගෙනීම් කටයුතු එක්ක ක්‍රීඩා කටයුතු කළමනාකරණය කර ගැනීම අපහසු වුණා.විශේෂයෙන් උසස් පෙළ පන්තිවලදී සමහර වෙලාවට අධ්‍යාපන කටයුතු මග හැරුණා.ක්‍රීඩා පුහුණුවීම් කරන්න ගියාම කාලය කළමනාකරණය කර ගැනීම ඇත්තටම අභියෝගයක්.ඒත් මම යාළුවන්ගෙනුත් උදව් අරගෙන, අතපසුවුණු පාඩම් නැවත නැවතත් අධ්‍යයනය කළා.දිවා රෑ නොබලා කැපකිරීම් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට උසස් පෙළ විභාගය සාර්ථකව නිම කර ගන්න පුළුවන් වුණා.ක්‍රිකට් වගේ ක්‍රීඩාවකට පිරිමි ළමයි තමයි වැඩි නැඹුරුවක් දක්වන්නෙ.ගැහැණු ළමයින්ට පුළුවන්ද ක්‍රිකට් සෙල්ලම් කරන්න? වගේ කතා නිතරම අහන්න ලැබෙනවා.ඒ දේවල් වලට නොසැලී ශක්තිමත්ව මුහුණ දෙන්න නම් චිත්ත ශක්තිය,මානසික සංයමය ඉහළින්ම පවත්වාගන්න සිද්ධ වෙනවා.ඒ වගේම කොළඹ පුහුණුවීම් කටයුතු වලට බස් එකේ එද්දි ක්‍රිකට් බඩු බෑග් අරගෙන, ඒක ලේසි ගමනක් නෙවෙයි. ඒත් ඒ හැම මහන්සියක් ම අනාගතය වෙනුවෙන් කරන ආයෝජන විදිහටයි මම දැක්කේ.

ඔබ අනාගතයේදී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන ඉලක්ක මොනවද?

තව මහන්සි වෙලා පුහුණුවීම් කටයුතු කරලා, ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමි කර ගැනීම තමයි මගේ ඉලක්ක ය.ඒ වගේ ම ක්‍රිකට් ක්‍රීඩා කරන්නට අපහසුකම් ඇති අයට, හැකි උපරිමයෙන් උදව් කරන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

ඉතාම වටිනවා ඔබේ බලාපොරොත්තු.
අවසාන වශයෙන්,මේ දක්වා දුරක් එන්නට උපකාර කළ පිරිස ගැනත් සිහිපත් කරමු.

ඔව්.විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ, මගේ පවුලේ අය සහ පුහුණුකරුවන්. ඒ වගේම පාසලේ ගුරුවරු, නෑදෑයෝ සහ යාළුවෝ.මේ දක්වා මට ශක්තියක් වූ සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා.

වාසනා වික්‍රමසිංහ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required