බ්‍රිතාන්‍යයන් ආරම්භ කළ ඉංග්‍රීසි අධ්‍යාපනය හේතුවෙන් 19 වන සියවසේ මැද භාගය වන විට ඉංග්‍රීසි උගත් ලාංකික මධ්‍යම පන්තියක් බිහි විය.තවද වතු වගාවෙන් හා එයට අවශ්‍ය සේවා සැපයීමෙන් මුදල් උපයා ගත් දේශීය ධනවත් පන්තියක් ද විය. ලාංකිකයන්ට වැඩි පාලන බලතල ලැබෙන පරිදි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඉල්ලූ ඔවුන් උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කරන්නට විය. එම උද්ඝෝෂණ ව්‍යාපාරවල මූලික ලක්ෂණය වූයේ සමිති සමාගම් ආදිය පිහිටුවා ගැනීම හරහා තම ඉල්ලීම් බ්‍රිතාන්‍යයන් වෙත ඉදිරිපත් කිරීම ය.හලාවත සංගමය,යාපන සංගමය, සිලෝන් නැෂනල් ඇසොසියෙෂන් වැනි සංවිධාන ඒ අතර විය. සර් ජේම්ස් පිරිස් මහතා රටට ම පොදු ඉල්ලීම් මාලාවක් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම් පසු කාලීනව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කෙරෙහි ද බලපෑමක් එල්ල කිරීමට සමත් විය.
ක්‍රි.ව 1911 න් පසුව ඉංග්‍රීසි ආණ්ඩුව සුරාසැල් වැඩි වැඩියෙන් ආරම්භ කරන්නට විය. ආදායම් වැඩි කර ගැනීමේ අපේක්ෂාවෙන් සිදුකළ එම කටයුත්ත නිසා මත්පැන් උවදුර පිළිබඳව බිය සමාජයේ වර්ධනය විය. ඊට විරෝධය පෑමේ අරමුණ ඇතිව ජාතික නායකයන් විසින් අමද්‍යප ව්‍යාපාරය ආරම්භ කරන ලදී. එෆ්.ආර් සේනානායක,ඩී.එස්.සේනානායක,එඩිමන් හේවාවිතාරණ,සී.ඒ හේවාවිතාරන, ඩී.බී ජයතිලක,ඩබ්ලිව්.ඒ සිල්වා,පියදාස සිරිසේන,පී.එච්.ඒබ්‍රහම් ද සිල්වා, ආතර් වී.දියෙස් වැනි අමද්‍යප නායකයෝ මෙහි පෙරමුණ ගත්හ.
බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව පෙළ ගැසීම නිසා විවිධ ආගම්වලට අයත් නායකයන් අතර එකමුතු බවක් වර්ධනය විය. යටත් විජිත පාලනය නිසාවෙන් සිදුවන අසාධාරණකම් හා මර්දන වලින් ගැලවීමට, බල සම්පන්න ජාතික සංවිධානයක අවශ්‍යතාවය මතු විය. ඒ අනුව ක්‍රි.ව 1919 දී ලංකා ජාතික සංගමය බිහිවිය. පොන්නම්බලම් අරුනාචලම්, පොන්නම්බලම් රාමනාදන්, ජේම්ස් පීරිස්, ඊ.ඩබ් පෙරේරා, ඒ.ඊ ගුණසිංහ,ඩී.බී ජයතිලක,ඩී.එස්.සේනානායක ආදී නායකයෝ මෙම ජාතික සංගමයේ උද්යෝගිමත් නායකයෝ වූහ. පොන්නම්බලම් අරුනාචලම් මහතා එහි ප්‍රථම සභාපතිවරයා විය.
වරින් වර ප්‍රතිසංස්කරණ හිමි වූ නමුත් ලාංකික නායකයෝ එම ප්‍රතිසංස්කරණ පිළිබඳව සෑහීමකට පත් නොවූහ. අවසානයේදී ලංකාවේ ප්‍රතිසංස්කරණ පිළිබඳ ඉල්ලීම් සලකා බැලූ බ්‍රිතාන්‍ය ආණ්ඩුව ශ්‍රී ලංකාවට සුදුසු ආණ්ඩු ක්‍රමයක් නිර්දේශ කිරීම සඳහා සෝල්බරි කොමිෂන් සභාව ලංකාවට එවී ය. ඒ අනුව වර්ෂ 1947 දී පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ශ්‍රී ලංකාවට හිමි විය. එම වසරේ පැවති මැතිවරණයෙන් ඩී.එස් සේනායක මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්විය. අග්‍රාමාත්‍ය ඩී.එස් සේනානායක මහතා සහ බ්‍රිතාන්‍ය ආණ්ඩුව අතර ඇති වූ සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස ක්‍රි.ව 1948 දී ශ්‍රී ලංකාවට නිදහස උරුම විය.
ආගමික හා සංස්කෘතික ප්‍රබෝධය.
යටත් විජිත සමයේ විවිධ ක්‍රිස්තියානි ආගමික නිකායන් මෙරට ආගම ප්‍රචාරය කිරීම ආරම්භ කළ අතර ඔවුන් එයට මෙවලම වශයෙන් යොදාගත්තේ අධ්‍යාපනය යි.මිෂනාරි සමාගම් යටතේ බොහෝ ප්‍රදේශවල පාසල් ආරම්භ වී තිබූ අතර ඉංග්‍රීසි භාෂාව සහ ක්‍රිස්තියානි ධර්මය ඉගැන්වීම මූලිකව ම සිදුවිය. මෙරට පැවති ආරාම මූලික අධ්‍යාපන ක්‍රමය අභිබවමින් මිෂනාරි පාසල් බලවත් විය.බෞද්ධ හා හින්දු ජනතාව මෙම මිෂනාරි පාසල්වලට යොමු විය. එම මිෂනාරි පාසල්වල අධ්‍යාපනය ලැබූ අයට රජයේ තනතුරු ද හිමි විය. කෙසේ නමුත් මෙම මිෂනාරි අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් දේශීය සංස්කෘතිය විශාල පරිහානියකට ලක් විය.
ක්‍රි.ව 1860 පමණ වන විට බෞද්ධ හා හින්දු ආගමිකයන් තම සංස්කෘතිය නඟා සිටුවීමේ අරමුණ ඇතිව විවිධ ආගමික ව්‍යාපාර ඇරඹීය. එම ව්‍යාපාර හේතුවෙන් ඇති වූ ප්‍රබෝධය ආගමික හා සංස්කෘතික පුනරුදය නමින් හැඳින්වේ. මෙකල වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යයන්ගෙන් අධ්‍යාපනය ලැබූ භික්ෂූන් හා ගිහියන් රැසක් මුහුදුබඩ ප්‍රදේශවල බෞද්ධාගමික කටයුතුවල නිරත විය. වලානේ සිද්ධාර්ථ හිමියන්ගේ ශිෂ්‍යයකු වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියෝ ක්‍රි.ව 1873 දී මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන ආරම්භ කළහ. සුමංගල නාහිමියන් විසින් ලංකාලෝකය සිංහල පුවත්පත ආරම්භ කරන ලද අතර සුදර්ශනය, බෞද්ධ විහාරය, සුමති සංග්‍රහය ආදී සඟරා ද ආරඹන ලදී. ක්‍රි.ව 1875 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කිරීම ද බෞද්ධ අධ්‍යාපනයට ශක්තියක් විය.පිරිහීමට පත්වෙමින් තිබු බෞද්ධ අධ්‍යාපනය සහ බුද්ධ ශාසනය නගා සිටුවීමට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ද එක් විය. ක්‍රිස්තියානි පූජකවරුන් සමඟ ප්‍රසිද්ධියේ වාද විවාදවලට එළැඹි ගුණානන්ද හිමියෝ ඒවා ඉතා පහසුවෙන් ජය ගැනීමට සමත් වූහ. පානදුරාවාදය මෙහිදී ඉතා වැදගත් ය.උන්වහන්සේ බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමට ද සහය වූහ. ඕල්කට් තුමා මෙරටට පැමිණියේ ද ලංකාවේ පැවති ආගමික වාද විවාද පිළිබඳව තොරතුරු දැන ගැනීමෙන් අනතුරුව ය.බුදු දහමේ අගය වටහාගෙන බෞද්ධාගමික පුනරුදය උදෙසා ඉමහත් සේවයක් කිරීමට එතුමා ද එක් විය.
හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා පරම විඥානාර්ථ බෞද්ධ සංගමය පිහිටුවා බෞද්ධාගමික දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීය.බෞද්ධාගමික පසුබිමක් තුළ ලංකාවේ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමට කොළඹ ආනන්ද විදුහල, මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ලේ මහින්ද විද්‍යාලය ආදී පාසල් පිහිටු වීය. "සරසවි සඳරැස" , "ද බුඩිස්ට්"වැනි ඉංග්‍රීසි සගරා ඇරැඹීමට සහය වූ අතර වෙසක් පොහොය රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට ද දායක විය.
අනාගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර,ඩී.බී ජයතිලක,ආතර් වී. දියෙස් වැනි අය ද බෞද්ධාගමික පුනරුද ව්‍යාපාරයේ නායකත්වය ගෙන ක්‍රියා කරන්නට වූහ. අනාගාරික ධර්මපාලතුමා විසින් බෞද්ධාගමික පුනරුදය උදෙසා කළ සේවාව අතිශය ප්‍රශංසනීය ය. ජාතිකාභිමානය නැවත ඇති කිරීම,ලංකාව බටහිර ආධිපත්‍යයෙන් බේරා ගැනීම,ජනතාව දැනුවත් කිරීම, දේශීය ඇවතුම් පැවතුම් පතුරුවාලීම ආදිය එතුමාගේ ප්‍රධාන අරමුණු විය.
අරුමුග නාවලර්තුමා ද හින්දු ආගමික පුනරජීවයක් සඳහා මූලිකව කටයුතු කළ නායකයෙකි. ශිව ආගමේ වැදගත්කම විදහා දැක්වීමට කටයුතු කළ එතුමා යාපනයේ වණ්ණාර්පන්නේයිහි පාසලක් ද ඇරඹීය. ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා ක්‍රි.ව 1915 දී පරමේශ්වර විද්‍යාලයත් ,රාමනාදන් විද්‍යාලයත් පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පිහිටුවන ලදී.සිද්දි ලෙබ්බේ මහතා ද මුස්ලිම් ජනයා අතර සිය ආගම සහ භාෂාව කෙරෙහි ප්‍රබෝධයක් ඇති කිරීම වෙනුවෙන් පෙරමුණට පැමිණි නායකයෙකි. ඔහු අරාබි භාෂාව ඉගෙනීම සඳහා මුස්ලිම් ජාතිකයින් උනන්දු කළ අතර ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේ වැදගත්කම ද අවධාරණය කළේ ය. මරදානේ සහිරා විද්‍යාලය පිහිටුවීමෙහිලා පුරෝගාමී වූ සිද්දි ලෙබ්බේ මහතා මුස්ලිම් බාලිකාවන් සඳහා ද මහනුවර පාසලක් ආරම්භ කළේය.
ආගම සේම සංස්කෘතිය ද ප්‍රබෝධමත් වූ මෙකල සිංහල, පාලි, සංස්කෘත ආදී පොත්පත් රැසක් ම මුද්‍රණය විය.ලක්මිණි කිරණ, ලක්මිණි පහන, අරුණෝදය, ඥානාර්ථ ප්‍රදීපය, සරසවි සඳරැස, සිංහල ජාතිය වැනි පුවත්පත් ඒ අතර විය.
වාසනා වික්‍රමසිංහ.