/
/
title icon කරුණාවේ ශාන්තුවරිය.
කරුණාවේ ශාන්තුවරිය.
Wasana Wickramasingha
2 months ago
Share:
කරුණාවේ ශාන්තුවරිය.

තෙරේසා මව්තුමිය 1910 වර්ෂයේ අගෝස්තු මස 26 වන දින මැසිඩෝනියා ජනරජයේ වත්මන් අගනුවර වන ස්කෝජියාවේ, ධනවත් පවුලක උපත ලැබුවාය. ඇගේ පියා (නිකොල් බොජක්ෂු) ව්‍යාපාරිකයකු මෙන්ම දේශපාලනඥයෙකු ද විය. වර්ෂ 1928 දී ලොරෙටො කන්‍යා සොහොයුරියන් සමඟ එක්වීමට අයර්ලන්තය බලා පිටත්ව ගිය ඈ 1929 වසරේදී ඉන්දියාවේ කල්කටා නගරයට පැමිණ 1931 වසරේ මැයි මස 24 වන දින "මේරි තෙරේසා" කන්‍යා සොහොයුරිය නමින් දිවුරුම් දුන්නාය.ශාන්ත තෙරේසා පාසලේ ගුරුවරියක ලෙස සේවය කරමින් සිටියදී කල්කටාවේ දුප්පත්කම නිසා පීඩා විඳින ජනයා දැක කම්පාවට පත්ව ඔවුන්ට සේවය කිරීමට සිතා ගත්තාය.ප්‍රථමයෙන් මුඩුක්කු නිවාස වැසියන්ට උපකාර කිරීමට ඉදිරිපත් වූ මෙතුමියට "මිෂනරි ඔෆ් චැරිටි" ලෙස හැඳින්වෙන සභාවක් ඇරඹීමට ද අවස්ථාව හිමි විය.

ඇය මිය යෑමට ආසන්නව සිටි පුද්ගලයින් වෙනුවෙන් පළමු නිවාසය ආරම්භ කළ අතර ඉන් අනතුරුව  ලාදුරු රෝගයෙන් සහ ඒඩ්ස් රෝගයෙන් පෙළෙන පිරිස සඳහා  නිවාස ආරම්භ කළාය.1955 වර්ෂයේදී තෙරේසා මව්තුමිය විසින් අනාථ දරුවන් සහ නිවාස නොමැති තරුණ තරුණියන් සඳහා  ඉන්දියාවේ බැංගලෝර්හි නිවාසයක් විවෘත කළාය.මෙම කර්තව්‍යයන් සාර්ථක කර ගැනීම සඳහා අරමුදල් සපයා ගැනීම ප්‍රථමයෙන් අපහසු වූ නමුත් කල්ගත වන විට ලොව බොහෝ පුද්ගලයන් විසින් ආධාර උපකාර සිදුකරන ලදී.තෙරේසා මව්තුමියගේ සේවාවන් අගය කරමින් කතෝලික නොවන ජනතාව සේම ස්වේච්ඡා සංවිධාන ද සහාය ලබාදීමට ඉදිරිපත් විය.එම අනුග්‍රහයන් හේතුවෙන් ඇගේ සමාජ සේවා කටයුතු වඩාත් සාර්ථක අන්දමින් කරගෙන යාමට හැකි විය.මෙතුමියගේ තවත් සුවිශේෂී ගුණාංගයක් වූයේ කිසිදු ජාති ආගම් භේදයක් නොසලකා සියලු අසරණ ජනතාවට සම සිතින් සේවය කිරීමයි.

1960 වර්ෂයේ දී මෙතුමියගේ ජීවන ගමන පිළිබඳව මාධ්‍යවේදියෙක් වන මැල්කම් මුගරිජ් විසින් "something beautiful for God" යනුවෙන් කෘතියක් ද රචනා කරන්නට විය. මිනිසුන්ගේ දරිද්‍රතාවය සහ පීඩාව ජයගැනීම සඳහා සිදුකළ මෙහෙය වෙනුවෙන් 1979 වර්ෂයේදී ඇයට නොබෙල් ත්‍යාගය ද හිමි විය.අන්ත අසරණ දුප්පත් ළමුන් සහ රෝග පීඩාවන් හේතුවෙන් දුක් විඳින මිනිසුන් රැගෙන විත් ජීවිතාන්තය තෙක්  රැකවරණය ලබාදීමට ඇය කටයුතු කළාය. මෙම සේවාවන් උදෙසා බොහෝ කීර්ති ප්‍රශංසා ද ඇයට හිමිවිය.වරක් නිවේදකයකු විසින් "ලෝක සාමය උදෙසා ඔබතුමිය යෝජනා කරන වැඩපිළිවෙළ කුමක්ද?" යනුවෙන් විමසූ විට, ඇය ප්‍රකාශ කර ඇත්තේ "ඔබ ගෙදර ගොස් ඔබේ පවුලේ අයට ආදරය කරන්න" යනුවෙනි. එම ප්‍රකාශය මගින් ඇගේ බුද්ධිමත් භාවය මනාව පැහැදිලි වේ.

හෘදයාබාධ සහ නිව්මොනියා රෝග හේතුවෙන් නිරන්තර පීඩා විඳි ඇය,1996 වසරේදී උරහිස් ආබාධයකට ද ලක් වූවාය. පසුකාලීනව මැලේරියා රෝගයෙන් ද පීඩා විඳි මෙතුමියගේ හෘදයේ වම් කුටීරයෙ ක්‍රියාකාරීත්වය ද අඩපණ වන්නට විය. ඉන් මිදීමට හදවත් සැත්කමක් සිදු කළ ද ඇගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙන්නට විය. මෙම රෝගී තත්ත්වයන් නිසාවෙන් 1997 වසරේදී මිෂනාරීන්ගේ සංගමයේ ප්‍රධාන තනතුරින් ද ඉවත් වූවාය.1997 වසරේ සැප්තැම්බර් මස 05 වන දින ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කල්කටාහිදී මෙම ආදරයේ දූතිකාව මිය ගියාය.එවකට ඇගේ වයස අවුරුදු 87 ක් පමණ විය.

මෙකල තෙරේසා මව් තුමියගේ මිෂනාරි ව්‍යාපාරයට හාරදහසකට අධික කන්‍යා සොහොයුරියන් ප්‍රමාණයක් සහ සාමාජිකයින් තුන්සියයකට අධික ප්‍රමාණයක් සිට ඇත. එම පිරිසගේ සහයෝගය නිසාවෙන් රටවල් විශාල ප්‍රමාණයක, විවිධාකාර සමාජ සේවා රැසක් සිදුකිරීමට හැකියාව ලැබිණි.2003 වසරේදී භාග්‍යවන්තවරියක් ලෙස උසස් කරනු ලැබූ එතුමිය, 2016 වසරේදී ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් සාන්තුවරියක් ලෙසින් නම් කරන ලදී. එක්සත් ජාතීන්ගේ සභාව විසින් 2013 වර්ෂයේ සිට සැප්තැම්බර් මස පස්වන දිනය, ජාත්‍යන්තර සහන සේවා දිනය ලෙස ද නම් කරන ලදී.


වාසනා වික්‍රමසිංහ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required