/
/
title icon පුරාණ සෙංකඩගල රාජධානිය.
පුරාණ සෙංකඩගල රාජධානිය.
Wasana Wickramasingha
1 month ago
Share:
පුරාණ සෙංකඩගල රාජධානිය.

සියවස් තුනක පමණ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන මහනුවර රාජධානිය පිහිටියේ ස්වභාවිකව ම ආරක්‍ෂිත ප්‍රදේශයක ය.ජල දුර්ග,වන දුර්ග,ගිරි දුර්ග ආදියෙන් සමන්විත වීම,රාජධානියේ ආරක්ෂාවට බෙහෙවින් හේතු විය.පෘතුගීසීන් ,ලන්දේසීන් වැනි බටහිර ජාතිකයන්ට මහනුවර රාජධානිය අල්ලා ගැනීම අපහසු වූයේ ද එම ආරක්ෂිත බව නිසා ය.

මහනුවර රාජධානියේ අසහාය පාලකයා වූයේ රජතුමා ය. පාලන කටයුතුවල පහසුවට ඔහු විසින් ම පත් කරන ලද නිලධාරි මණ්ඩලයක් විය. නීතියේ බලතල පිළිබඳ කේන්ද්‍රය වූයේ රජුය.රටේ සියලු ගම්බිම්වල අයිතිය ද ඔහු සතු විය.එනමුත් යම් වැදගත් තීරණයක් ගැනීමට පෙර රජතුමා නායක භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡා කිරීමට අමතක නොකළේය.

රජු සහ ප්‍රධාන නිලධාරීන්ගෙන් සමන්විත උඩරට රාජ සභාව මහවාසල නම් විය. එකල මහ ඇමතිවරයාව හඳුන්වන ලද්දේ මහ අධිකාරම් යන නාමයෙනි.ඊට අමතරව දිසාපති,රටේ මහත්වරු,කෝරාලවරු, මොහොට්ටාල වැනි නිලධාරීන් රාශියක් ම සිට ඇත.රටේ සියලු ම කටයුතු ප්‍රධාන කාර්යාංශ හතරක් යටතේ සංවිධානය වී තිබුණි.ඒවා නම් රට වසම, බද්දේ, මහවාසල සහ විහාර දේපොළ යි.

රට වසම : පාලන කටයුතුවල පහසුව උදෙසා ලංකාව දිසා කිහිපයකට බෙදා තිබුණි. දිසාවන්හි පාලන කටයුතු සිදු වූයේ රට වසම යන අංශයෙනි. මෙහි ප්‍රධාන නිලධාරියා මහ දිසාව නම් විය. ආදායම් එකතු කිරීම, රාජාඥා ක්‍රියාත්මක කිරීම, යුක්තිය පසිඳලීම වැනි කටයුතු ඔහුට භාර විය.
බද්දේ: බද්දේ යනුවෙන් හැඳින්වූ කාර්යාංශයෙන් සිදු වූයේ බදු එකතු කිරීම ය. එම කාර්යයේ නියුතු ප්‍රධානීන් හඳුන්වන ලද්දේ බද්දේ නිලමේ යන නාමයෙනි. මඩිහ බද්ද, මහ බද්ද, හුණු බද්ද, ලුණු බද්ද යනාදී විවිධ බදු එකල විය.
මහා වාසල: රජ මාළිගාවේ කටයුතු සංවිධානය මහාවංසල කාර්යාංශයෙන් සිදුවිය. ගජනායක නිලමේ,කොඩිතුවක්කු නිලමේ, ගබඩා නිලමේ මහ වාසලේ සේවය කළ ප්‍රධාන නිලධාරීන්ගෙන් කිහිප දෙනෙකි.
විහාර දේපොළ: විහාර දේපොළ පිළිබඳ සියලු ම කටයුතු මේ යටතේ සිදුවිය.මෙම කාර්යාංශයේ ප්‍රධාන නිලධාරීන් වූයේ දියවඩන නිලමේ හා දේවාලවල බස්නායක නිලමේවරුන් ය.

එකල පාලන තන්ත්‍රයේ තවත් වැදගත් අංශයකි අධිකරණය. එහි ප්‍රධානියා වූයේ රජුය. එදා වරදකරුවන්ට දුන් දඬුවම් ලෙස අතුල් පහර දීම, ඉපලෙන් තැලීම, කස පහර දීම, දඩ ගැසීම, හිස කෙස් කැපීම, රොඩී රැහැට දැමීම, ජලයේ ගිල්වා මැරීම, ඇතෙක් ලවා පාගා මැරීම, දඬු කඳේ ගැසීම හැඳින්විය හැක.

රොබට් නොක්ස් සඳහන් කරන අන්දමට උඩරට සිංහලයන්ගේ නිවාස ඔවුන් විසින් ම සකස් කරගෙන ඇති අතර නිවාස තනන්නන්ගේ සහාය ලබාගෙන නැත.සාමාන්‍ය ජනතාවගේ නිවාස බොහෝවිට අතු හෝ පිදුරු සෙවිලි කළ, වරිච්චි බිත්ති බැඳ සකස් කළ,මැටි ගැසූ,කුඩා මිටි ගෙවල් විය.කෙසේ වෙතත් ප්‍රභූවරුන්ගේ නිවාස සහ සාමාන්‍ය ජනයා සතු නිවාස අතර පැහැදිලි වෙනස්කම් විය. දෛනික ජීවිත අවශ්‍යතා සපුරා ගත හැකි පරිදි ග්‍රාමය සකස්වී තිබිණි.මහනුවර රාජධානිය තුළ කුල ක්‍රමයට ද වැදගත් තැනක් හිමි විය.සමාජ සබඳතා හා සිරිත් විරිත් බොහොමයක් පදනම් වූයේ ඉඩම් භුක්තිය මතය. උඩරට රාජ්‍යයේ පැවති ඉඩම් අයිතිය හා භුක්තිය විවිධ කොටස්වලට බෙදා තිබිණ. ඒ අතර ගබඩාගම්,නින්දගම්, පරවේණි ඉඩම්, විහාර ගම් හා දේවාලගම් ප්‍රධාන විය.

ගබඩාගම්: රජ වාසලේ ප්‍රයෝජනය සඳහා පැවති ඉඩම් ය.
නින්දගම්: රටේ ඉහළ නිලතල දැරූ අය සඳහා රජු විසින් තිළිණ කළ ඉඩම් ය.
විහාරගම් හා දේවාලගම්:විහාර සහ දේවාල නඩත්තුව සඳහා ප්‍රධානය කළ ඉඩම් ය. මෙම ඉඩම් අන් සතු කිරීම හෝ විකිණීම සපුරා තහනම් විය. 
පරවේණි ඉඩම්: සාමාන්‍ය ජනතාව භුක්ති විඳි මෙම ඉඩම් පරම්පරාවෙන් පරම්පරාවට ම උරුම වූ ඒවා විය.කෙසේ වෙතත් තමන් භුක්ති විඳින ඉඩකඩම් වෙනුවෙන් යම්කිසි සේවාවක් ඉටු කිරීම එකල අනිවාර්ය විය.

උඩරට රාජධානි සමයේ පැවති විවාහ ක්‍රම යටතේ දීග විවාහය,බින්න විවාහය සහ බහු පුරුෂ විවාහය විය. පීතෘ මූලික වූ පවුල තුළ අවංක භාවය හා සුහදතාවය ඉතා ඉහළින් පැවතුණි.

මහනුවර රාජධානියේ ආර්ථික කටයුතු සැලකීමේ දී එය පරිභෝජනය පදනම් කරගත් කෘෂිකාර්මික අර්ථ ක්‍රමයක් බව පෙනේ. උඩරට රාජ්‍යයේ වැඩි ඉඩම් ප්‍රමාණයක් හේන් ගොවිතැන් කටයුතු සඳහා යොදා ගනු ලැබිණි. වී ගොවිතැන සිදුව ඇත්තේ කඳු බෑවුම්වල පඩිපේළි ආකාරයට සාදාගත් කුඩා ලියදිවල ය. කොස්,ගම්මිරිස්, සාදික්කා,කරඳමුංගු,කරාබුනැටි,පුවක්,දෙල්, කුරක්කන්,මෙනේරි,ඉරිඟු වැනි ආහාර මෙම ප්‍රදේශයේ බහුල විය.භාණ්ඩ හුවමාරු ආර්ථිකයක් පැවති අතර අවශ්‍ය කෘෂි උපකරණ, ගේ දොර උපකරණ,ආභරණ ආදිය ගම තුළ ම නිෂ්පාදනය විය. සත්ව පාලනය ද පැවැති අතර කිරි ලබා ගැනීමේ අරමුණින් මී හරකුන් හා එළහරකුන් ඇති කරනු ලැබීය. ගම ස්වයංපෝෂිත ඒකකයක් විය.රෙදි,හුණු, දුම්කොළ,බෙහෙත් වර්ග,මැටි බඳුන්,ලෝහ බඳුන් ආදිය විකිණීම සඳහා කුඩා කඩපිල් කිහිපයක් ගමේ විය. භාණ්ඩ හුවමාරුව වැඩි වශයෙන් සිදුව ඇති අතර ඉතා සුළුවෙන් කාසි භාවිතය සිදුව ඇත.දේශීය කර්මාන්ත  දියුණු තත්ත්වයක පැවති අතර කුඹල් කර්මාන්තය, කපු රෙදි විවීම සහ ලාක්ෂා කර්මාන්තය ප්‍රධාන කර්මාන්ත විය.දුම්බර ප්‍රදේශය  පැදුරු විවීම සම්බන්ධයෙන් ද කොත්මලේ ප්‍රදේශය යකඩ භාණ්ඩ සඳහා ද කිරිවවුල පිත්තල භාණ්ඩ සඳහා ද ප්‍රසිද්ධ විය.

උඩරට රාජ්‍ය සමයේදී දේශීය කලා ශිල්ප වල දියුණුවට විශාල රාජ්‍ය අනුග්‍රහයක් හිමි විය. චිත්‍ර කලාව දියුණු තත්ත්වයක පැවැති අතර ජාතක කතා හා බුදු සිරිත චිත්‍රයට නැගීම ජනප්‍රිය වී තිබුණි. මහනුවර චිත්‍ර ශිල්පීන්ගේ විශේෂ තේමා ලෙස මාර පරාජය,දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම සහ වෙස්සන්තර ජාතකය හඳුනා ගත හැක. හිඳිගල, ලංකාතිලකය,දළදා මාලිගාව,දෙගල්දොරුව,මැදවෙල රිදී විහාරය යන විහාරස්ථානවල මහනුවර යුගයට අයත් සිතුවම් බොහොමයක් දක්නට ලැබේ.එසේම මෙම යුගයේ සාහිත්‍ය කලාවට ද හිමි වන්නේ ඉහළ වටිනාකමකි.මහනුවර යුගයේ සිංහල සාහිත්‍ය කෘති  අතර රාජසිංහ සිරිත, රාජසිංහ වර්ණනා, ඉංග්‍රීසි හටන වැනි ප්‍රබන්ධවලට වැදගත් තැනක් හිමි වේ. තවද ගණදෙවි හෑල්ල, පත්තිනි හැල්ල,කැලණි හෑල්ල වැනි කෘති ද එම යුගයේදී බිහි විය.


වාසනා වික්‍රමසිංහ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required