
හොකී ක්‍රීඩාවේ ඉතිහාසය ගත් කල මෙහි මූලාරම්භය ඉරානය, ඊජිප්තුව සහ ග්‍රීසියේ ඓතිහාසික තොරතුරුවලට අනුව වසර 4,000 කට පමණ පෙර බිහි වූවක් ලෙස හඳුනා ගත හැකිය. නවීන හොකී උපත සහ ක්‍රීඩාවේ පළමු නීති කෙටුම්පත් කිරීම 1876 දී එක්සත් රාජධානියේ සිදු වූ අතර, පළමු හොකී සමාජ ලෙස වර්ෂ 1849 (ඇස්තමේන්තු) දී බ්ලැක්හීත් ක්ලබ් (Blackheath Club) සහ 1871 (ඇස්තමේන්තු) දී ටෙඩින්ටන් හොකී සමාජය (Teddington Hockey Club) ද පිහිටුවා ඇත.
1908 දී එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති 4 වැනි ඔලිම්පියාඩ් ක්‍රීඩා උළෙලේ දී හොකී ක්‍රීඩාව ආරම්භ වූ අතර එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය ඔලිම්පික් පිරිමි හොකී තරඟයට ඉදිරිපත් විය. Fédération Internationale de Hockey sur Gazon (FIH) යන හොකි සම්මුතිය 1924 ජනවාරි 7 වන දින Paul Léautey (FRA) විසින් ආරම්භ කරන ලදී. ඔහු FIH හි පළමු සභාපති ලෙස කටයුතු කර ඇත. හොකී ක්‍රීඩාවේ ජාත්‍යන්තර පාලක මණ්ඩලය පිහිටුවීම සඳහා රටවල් හතක් එනම් ඔස්ට්‍රියාව, බෙල්ජියම, චෙකොස්ලොවැකියාව, ප්‍රංශය, හංගේරියාව, ස්පාඤ්ඤය සහ ස්විට්සර්ලන්තය සහභාගීත්වය ලබා දී ඇත. එමෙන් ම වර්ෂ 1927 දී IFWHA හි එනම් ජාත්‍යන්තර කාන්තා හොකී සංගමය ආරම්භය රටවල් 8 කින් යුක්තව එනම් ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, එංගලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව සහ ඇමරිකා එක්සත් ජනපදය පිහිටුවා ඇත. එහි පළමු සභාපති වී ඇත්තෙ කැතරින් ගැස්කල් (GBR) ය.
වර්ෂ 1971 පළමු පිරිමි ලෝක කුසලානය ස්පාඤ්ඤයේ බාර්සිලෝනාහි (Barcelona) රියල් ක්ලබ් ඩි පෝලෝහි දී (Real Club de Polo) පැවැත්විණි. පකිස්ථානය, ස්පාඤ්ඤය, ඉන්දියාව, කෙන්යාව, ප්රංශය, ඕලන්දය, ෆෙඩරල් ජනරජය, ඕස්ට්රේලියාව, ජපානය සහ ආර්ජන්ටිනාව යන රටවල් මීට සහභාගී විය. එහි දී පාකිස්ථානය හොකි ශූරතාව දිනාගත් අතර ස්පාඤ්ඤය සහ ඉන්දියාව පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථාන ලබා ගත්හ. ප්‍රංශයේ මැන්ඩලියුහි දී (Maugural) පළමු කාන්තා ලෝක කුසලානය 1974 දී පැවැත්විණි. මේ සඳහා ද රටවල් දහයක් සහභාගි වී තිබුණි. එම රටවල් නම් ඉන්දියාව, නෙදර්ලන්තය, බෙල්ජියම, ස්පාඤ්ඤය, මෙක්සිකෝව, බටහිර ජර්මනිය, ආර්ජන්ටිනාව, ප්‍රංශය, ඔස්ට්‍රියාව සහ ස්විට්සර්ලන්තයයි. අවසන් මහා තරගයේ දී ආර්ජන්ටිනාව පරාජය කරමින් නෙදර්ලන්තය ශූරතාව දිනාගත් අතර බටහිර ජර්මනිය තෙවැනි ස්ථානයට පත් වී තිබුණි. එතෙක් ස්වාභාවික තණනිල්ලක සිදු කෙරුණු මෙම ක්‍රීඩාව වර්ෂ 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ප්‍රථම වරට කෘතිම “නයිලෝන්” තණකොළ හඳුන්වා දෙන ලදි. 1974 ඔක්තෝම්බර් මාසයේ දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ගනු ලැබූ තීරණයට අනුව 1980 මොස්කව් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට කාන්තා හොකී තරඟ ඉසව්ව ප්‍රථම වරට ඇතුළත් විය. එතැන් සිට ක්‍රීඩා උළෙලේ පිරිමි සහ කාන්තා ඉසව් දෙක ම පැවතුනි. පළමු ගෘහස්ථ ලෝක කුසලානය 2003 වසරේ පෙබරවාරි මාසයේ දී ජර්මනියේ ලයිප්සිග්හි දී පැවැත්විණි. සත්කාරක ජර්මනිය පිරිමි සහ කාන්තා ඉසව් දෙකෙහි ම ශූරයන් විය. පෝලන්තය සහ ප්‍රංශය පිරිමි ඉසව්වේ 2 වන සහ 3 වන ස්ථානයට පත් වූ අතර කාන්තා ඉසව්වෙන් නෙදර්ලන්තය හා ප්‍රංශය දෙවන හා තුන්වන ස්ථානයන්ට පත් විය. හොකී ක්‍රීඩාවේ නව ආකෘතිය ප්‍රථම වරට නැන්ජිං (Nanjing) 2014 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී හඳුන්වා දෙන ලද අතර එතැන් සිට YOG හි කොටසක් බවට හොකි ක්‍රීඩාව පත් විය.
ක්‍රීඩා පිටිය
සම්මත ක්‍රීඩා පිටිය 91.4m දිගකින් හා 55m පළලකින් යුක්ත වෙයි. 3.66m වූ ගෝලය වටා 14.63m වූ අර්ධ කවයක් ඇත. එය හඳුන්වනු ලබන්නේ D එක ලෙස ය. ක්‍රීඩකයා ගෝල් ලබා ගත යුත්තේ D එක ඇතුළත සිට ය. එම කවය වටා 5m දුරකින් කඩඉරි සහිත තවත් අඩ කවයක් ඇත. ක්‍රීඩාපිටිය කොටස් සතරකට බෙදා ඇති අතර මැද ඉර centre line ලෙසත් ඊට දෙපස ඇති ඉරි half line ලෙසත් හඳුන්වනු ලබයි. නූතනයේ ස්වාභාවික තණ පිටිවලට වඩා කෘතිම ක්‍රීඩා පිටි භාවිත කරන අතර මේ වන විට නිල් පැහැයෙන් යුතු ක්‍රීඩාංගන ලෝකයේ අතිශයින් ජනප්‍රිය වී ඇත. එක් වරකට කණ්ඩායම් දෙකක් තරඟ වදින අතර එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් එකොළහක් සිටිය යුතු ය. නමුත් ක්‍රීඩකයන් හයක්, හතක් සහ නවක් පමණක් සහිත කණ්ඩායම් ද හොකී තරඟ කරනු දක්නට ලැබේ. එවැනි තරඟ තුළ දී ක්‍රීඩාපිටියේ දිග සහ පළල සම්මත මිනුම්වලට වඩා අඩු කරගනු ලැබේ.
නීති රීති
හොකී ක්‍රීඩකයින්ට පන්දුවට පහර දිය හැක්කේ ඔවුන්ගේ දණ්ඩේ පැතලි පැත්තකින් පමණි. හොකී ක්‍රීඩකයින්ට (ගෝල රකින්නා හැර) ඕනෑම අවස්ථාවක පන්දුව පාලනය කිරීම සඳහා ඔවුන්ගේ පාද හෝ ශරීරයේ වෙනත් කොටස් භාවිතා කිරීමට අවසර නැත. ගෝලයක් ලබා ගත හැක්කේ ෆීල්ඩ් ගෝල් එකකින් හෝ දඩුවම් කෝනර් එකකින් හෝ දඩුවම් පහරකින් පමණි. ෆීල්ඩ් ගෝලයක් යනු විවෘත ක්‍රීඩාවෙන් ලබා ගන්නා ගෝලයක් වන අතර, ප්‍රතිවාදියාගේ ගෝලය ඉදිරියෙන්, ‘striking circle’ ඇතුළත සිට පමණක් එය ලබා ගත හැක. හොකී පන්දුව රවුමෙන් පිටත සිට වැදී ඉලක්කය තුළට ගියහොත් එය ගෝලයක් ලෙස ගණන් නොගනී. හොකී ක්‍රීඩකයන්ට කිසි ම ආකාරයකින් ප්‍රතිවාදියෙකුට බාධා කිරීම, තල්ලු කිරීම, ආරෝපණය කිරීම, හෝ ශාරීරිකව හැසිරවීම කළ නොහැකි ය.
ප්‍රසිලා සඳරුවනි.