
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 43කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදීමටයි.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 213ක්.
එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක සූර්යකුමාර් යාදව් ලකුණු 58ක් රැස්කළ අතර රිෂාබ් පාන්ට් ලකුණු 49ක් රැස්කළා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 4ක් දවාගත්තා.
ඒ අනුව ලකුණු 214ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 02කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 170ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක ලකුණු 79ක් රැස්කරනු ලැබුවා.