
හර්ෂිතා මාධවි සමරවික්‍රම මේ වන විට ශ්‍රී ලංකාව තුළ පමණක් නොව මුලු ලෝකය තුළ ම කතා බහට ලක් වන චරිතයක් බවට පත් වී හමාර ය. වයස අවුරුදු 26ක් වන ඇය ඉතාමත් ලා බාල වයසින් ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොව මුලු ශ්‍රී ලංකාව ම දිනවීමට තරම් අති දක්ෂ ක්‍රීඩිකාවක් වන බව අවිවාදයෙන් පිළිගත හැකි කරුණකි.
ඇය 1998 වර්ෂයේ ජූනි 29 දින උපත ලබා ඇති අතර නාරෙහෙන්පිට පදිංචිව සිටින ඇයගේ පවුලේ මවත් පියාත් හා ඇයට වැඩිමහලු එක් සහෝදරයෙකු වේ. මව මීට වසරකට පෙර මිය ගොස් ඇති අතර මවත් පියාත් දෙදෙනා ම විශ්‍රාමික පොලිස් නිලධාරීන් වේ. ඇයගේ ප්‍රාථමික පාසල් අධ්‍යාපනය සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් ලබා ඇති අතර ද්විතියික අධ්‍යාපනය ගෝතමි බාලිකා විද්‍යාලයෙන් ද උසස් අධ්‍යාපනය අනුලා විද්‍යාලයෙන් ද ලබා ඇත.
ඇය ක්‍රීඩාවට අත්පොත් තබන්නේ කුඩා අවධියේ දී ම ය. ඒ ඇයගේ සහෝදරයා හා සමඟ ය. නමුත් ක්‍රීඩාවෙන් තම අනාගතය ගොඩනගා ගැනීමට ඇයට අරමුණක් නැතහොත් අභිප්‍රේරණයක් ලැබී ඇත්තේ 2013 වසරේ ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරඟ කරනු දැකීමෙන් අනතුරුව ය. ඇය ප්‍රකාශ කරනුයේ ප්‍රථම වරට කාන්තා ක්‍රිකට් තරඟාවලියක් සජීවීවව මාධ්‍ය මගින් ප්‍රදර්ශනය කළ එම අවස්ථාව ඇයගේ ජීවිතයට නව අරමුණක් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ගෙන ආ බවයි. රට දිනවීමේ අරමුණින් සිය ක්‍රිකට් ගමන ආරම්භ කළ ඇය 2013 වසරේ වයස අවුරුදු 11 දි ගෝතමී බාලිකා පාසල් ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ වන අතර ඉන් නොනැවතී උසස් අධ්‍යාපනය හැදෑරූ අනුලා විද්‍යාලයේ ද ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇත. ඇයගේ සියලු ම ජයග්‍රහණවල දි ඇය සිය ප්‍රථම පාසල් පුහුණුකරු වූ ලලංග රාජපක්ෂ මහතාව හා අනෙකුත් පුහුණුකරුවන් ද අනුලා විද්‍යාලීය ක්‍රිකට් පුහුණුකරු වූ සහන් දේශප්‍රිය මහතාව ද ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනු දැක ගත හැකි ය. ඇය දැක් වූ සුවිශේෂි දස්කම් මත ඇයට 2013 වසරේ දී ම සවර්ධිත කණ්ඩායමට සම්බන්ධ වීමට අවස්ථාව උදා කර ගත හැකි විය. එසේ ඇරඹී ක්‍රිකට් ගමන් මග තුළ ඇය පාසල් මට්ටමින් ද ජාතික මට්ටමින් ද ජත්‍යන්තර මට්ටමින් ද දස්කම් වාර්තා කර ඇත. ඇගේ ජාත්‍යන්තර ගමන සඳහා අඩිතාලම් සැපයූ කෝල්ස් ක්‍රිකට් සමාජය, නාවික හමුදා ක්‍රිකට් සමාජය, MC ක්‍රිකට් ඇකඩමිය මෙන් ම එහි වූ සියලු ම පුහුණුකරුවන් ද ඇයව දක්ෂ්තාවලින් සන්නද්ධ කිරීමට නොමසුරුව වෙහෙසි ඇත. 2016 වසරේ දී එනම් ඇය දාහත් හැවිරිදි වියේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා ගත් නමුත් ඇයගේ පාදයේ වූ අනතුරක් හේතුවෙන් එම වසරේ පැවති තරඟාවලියට සහභාගි වීමට තිබූ අවස්ථාව ඇයගෙන් ගිලිහී ගොස් තිබුණි. කෙසේවෙතත් ඇය 2016 වසරේ මාර්තු මස පැවති විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟාවලියට (T20) ජාතික කණ්ඩායම නියෝජනය කරමින් අයර්ලන්තයට එරෙහිව ප්‍රථම වරට ජාත්‍යන්තර ප්‍රේක්ෂ්කාගාරයක් මධ්‍යයෙහි දස්කම් දැක්වීමට සමත් විය. එම වසරේ ම සැප්තැම්බර් මස ප්‍රථම වරට එක් දින ජාත්‍යන්තර තරඟාවලියට (ODI) සහභාගි වීමට ද හැකියාව ලැබුණි.
2019 වසරේ නොවැම්බර් මාසයේ දී ඇය 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස නම් කරන ලදී. අවසන් මහා තරගයේ දී බංග්ලාදේශය හමුවේ ලකුණු දෙකකින් පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට රිදී පදක්කම දිනා ගැනීමට හැකියාව ලැබුණි. 2020 වසරේ ජනවාරි මාසයේ දී ඇය ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන 2020 ICC කාන්තා T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායිකාව ලෙස නම් කරන ලද අතර 2021 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී, ඇය 2021 සිම්බාබ්වේ හි පැවති කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායිකාව ලෙස ද නම් කරන ලදී. එමෙන් ම 2022 වසරේ ජනවාරි මාසයේ දී ඇය මැලේසියාවේ පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායිකාව ලෙස නම් කරන ලදී. 2022 වසරේ ම ජූලි මාසයේ දී, ඇය එංගලන්තයේ බර්මින්හැම් හි පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කරන ලදී.
ඇයගේ මෙම ගමන් මග සාර්ථක කරගැනීමට ඇයගේ පවුලෙන් විශාල සහයෝගයක් ලැබී ඇත. ගැහැනු ළමයෙකුට ක්‍රීඩාව අනාගතය ලෙස තෝරා ගැනීම ප්‍රායෝගික නොවන බව සමාජීය මතය වුවත් එයට අභියෝග කරමින් සිය අරමුණ සාක්ශාත් කර ගැනීමට ඇයගේ මව මෙන් ම පියා ද සහෝදරයා ද භෞතිකව මෙන් ම මානසිකව ද දුන් සහයෝගය අපරිමිත බව ඇය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණි. ක්‍රීඩාව පමණක් නොව ඇය අධ්‍යාපනය ද සමබර කරගනිමින් සිය ළමා කාලය සාර්ථක කර ගෙන ඇති අතර එය ක්‍රීඩාවට ඇලුම් කරන ආදුනික ක්‍රීඩීකාවන්ටත් මහඟු ආදර්ශයකි. සිය කුටුම්භය මෙන් ම ක්‍රිකට් ක්‍රීඩා නායිකා චමරි අතපත්තු ඇතුළු සියලු ම ක්‍රීඩිකාවන් ඇයව දිරි ගැන් වූ, මග පෙන් වූ, අත්දැකීම් බෙදා ගත්, අඩුපාඩු සැකසූ අපමණ අවස්ථාවන් හා වර්තමාන පුහුණුකරු වන රොමේෂ් රත්නායක මහතාගේ අසාහය කැපවීම ඇයව වත්මන් සමාජ තලය වෙත ගෙන ඒමට සන්දර්භය සැපයූ බව ඇය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.
2024 කාන්තා ආසියානු කුසලාන අවසාන තරඟාවලිය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ඊයේ දින (7.28) පැවැත් වුණු අතර එහි දී ඓතිහාසික ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණි. එය සුවිශේෂි ජයග්‍රහණයක් වන්නෙ කාන්තා ක්‍රිකට් තුළ සිය අනසක පතුරුවා සිටි ප්‍රභල ඉන්දීය කණ්ඩායම කඩුළු 8කින් පරාජය කිරීමට හැකි වීම නිසා ය. සිය 6වන අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 69ක් දිනා ගැනීමට ඇය සමත් විය. තරඟයේ දක්ෂත ම ක්‍රීඩිකාව ලෙස අබිසෙස් ලැබීමට ද ඇය මෙහි දී වරම් හිමි විය.
ප්‍රසිලා සඳරුවනි.