
වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ලොකු පැටී නමැත්තා බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වී ඇති බව එරට ආරක්ෂක අංශ දැනුම්දී තිබෙනවා.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත පසුගිය ජුලි මස 8 වනදා වෙඩි තබා ඝාතනය කිරීම සැලසුම් කළ බවට සෘජුවම චෝදනා එල්ලවුණේ සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නැමැති අපරාධ කල්ලි නායකයාටයී.
එමෙන්ම, ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අමිල සේපාල රත්නායක නොහොත් රොටුඹේ අමිලට ද චෝදනා එල්ල වුණා.
ක්ලබ් වසන්ත ඝාතනය සඳහා භාවිත කළ වෙඩි උණ්ඩවල 'කේ.පී. අයි.' ලෙසින් සටහන් කර තිබීම හේතුවෙන් කංජිපානි ඉම්රාන් ද අදාළ ඝාතනයට සම්බන්ධ බවට පොලීසිය සැක පළ කළා.
පොලිස් විමර්ශනවලදී අනාවරණ වුණේ මොවුන් තිදෙනාම විදෙස් රටක සැඟව සිටිමින් මෙම ඝාතනය මෙහෙයවා තිබූ බවටයි.
එවන් පසුබිමක, ලොකු පැටී නමැත්තා ඩුබායීහී සිට බෙලරූස් රාජ්‍යයට පළාගොස් සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ ඒ පිළිබඳව නිල වශයෙන් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවයි.
ඒ අනුව ලොකු පැටී කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් පොලීසිය මගින් අරඹා ඇති බව වාර්තා වනවා.
ලොකු පැටී නමැත්තා 2017 වසරේ මැයි 09 වනදා පිළියන්දල නගර මධ්‍යයේදී පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට වෙඩි තැබීම සඳහා වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති බව පොලීසිය පැවසුවා.
පසුගිය කාලයේ දකුණු පළාත කේන්ද්‍ර කරගෙන සිදුකරන ලද මනුෂ්‍ය ඝාතන රැසක් ද මෙහෙයවා තිබුණේ ලොකු පැටී විසින්.
එමෙන්ම, ඔහු මහාධිකරණ කිහිපයක පවතින නඩු සඳහා පෙනීනොසිටීම නිසා විවෘත වරෙන්තු ලැබූ අයෙක්.
මේ අතර, ලොකු පැටීගේ සහෝදරයා වන සංජීව පුෂ්පකුමාර ද සිල්වා හා මර්වින් ජානා නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බිරිය ද බෙලරූස් හිදී අත්අඩංගුවට පත්වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.
මොවුන් සමග සිටි කංජිපානි ඉම්රාන් හා රොටුඹේ අමිල රුසියාවට පළාගොස් සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා.