/
/
title icon දේශීය උරුමය රැගත් වාද්‍ය භාණ්ඩ.
දේශීය උරුමය රැගත් වාද්‍ය භාණ්ඩ.
Wasana Wickramasingha
2 months ago
Share:
දේශීය උරුමය රැගත් වාද්‍ය භාණ්ඩ.

අතීත මූලාශ්‍රවලින් ලබා ගත් තොරතුරුවලට අනුව විවිධ උත්සව අවස්ථාවලදී සහ යුධ කටයුතුවලදී සන්නිවේදන මෙවලම් ලෙස වාද්‍ය භාණ්ඩ උපයෝගී කරගෙන ඇත. එම වාද්‍ය භාණ්ඩ අතර විවිධාකාරයේ බෙර වර්ග,නළා වර්ග සහ ඝන වාද්‍ය භාණ්ඩ අන්තර්ගත ය. මේවා දැව,ලෝහ,මැටි වැනි අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන තනන අතර හැඩයෙන් සහ හඬින් එකිනෙකට වෙනස් ය. සෑම වාදන භාණ්ඩයකට ම ඊට අදාළ නාද පරාසයන් ඇත.බෙරයෙන් උපදින විවිධ නාද පාදක කොට ගෙන අවනද්ධ අක්ෂර සකසා ඇත. බෙර පද නිර්මාණය වී ඇත්තේ එකී අක්ෂර විධිමත් ලෙස සංයෝග වීමෙනි.

කවර සම්ප්‍රදායකට අයත් වුවත් බෙර පද තුළ "ත-දි-තො-න" යන මූලික අක්ෂර හමුවේ. මෙලෙස අවනද්ධ අක්ෂරයන්ගෙන් සැදුම් ලත් බැවින් බෙර වර්ග හැඳින්වීම සඳහා "අවනද්ධ භාණ්ඩ" යන පොදු නාමය ද භාවිතා වේ. ඇතැම් බෙර අතින් වයන අතර තවත් බෙර වර්ග වයන්නේ විතකිනි. අතද විතද යන දෙකම උපයෝගී කරගෙන වයන බෙර ද වේ.බෙර වර්ග හැඳින්වීම සඳහා එක් එක් බෙරයට ආවේනික වූ නාමයන් වේ. හැඩයෙන් හා ප්‍රමාණයෙන්  දේශීය බෙර හා සමානව පෙනෙන ඉන්දියානු හා ආසියානු බෙර වර්ග ද වේ. කෙසේ වෙතත්,මෙරට සෑම දේශීය වාද්‍ය භාණ්ඩයක ම ලාංකේය අනන්‍යතාවය ගැබ්ව පවතින බව පිළිගත යුතුය.

තම්මැට්ටම.

දේශීය වාදන භාණ්ඩ අතර ඇති සුවිශේෂී වාදන භාණ්ඩයක් වන තම්මැට්ටම අනෙකුත් දේශීය අවනද්ධ භාණ්ඩයන්ට සාපේක්ෂව හැඩයෙන් වෙනස් ය. මෙහි මුහුණත් දෙක ම උඩුකුරුව පවතී. තම්මැට්ටම හැඳින්වීමට "පොකුරු බෙරය" යන නාමය ද භාවිතා වේ. මෙම වාද්‍ය භාණ්ඩය වැයීම සඳහා ශක්තිමත් වැල් හෝ සිහින් කෝටුවලින් නිර්මාණය කළ "කඩිප්පු"නමින් හඳුන්වන උපකරණයක් යොදා ගනී. තම්මැට්ටමේ කඳ සකස් කර ගැනීම සඳහා යොදා ගන්නේ කොහොඹ, ඇසළ, ගංසූරිය, කොස් වැනි තද අරටු සහිත දැව විශේෂයන් ය. වර්තමානයේ මුදල් ඉපයීමේ චේතනාව මත පදනම්ව පොල් ලී යොදාගත්ත ද එය තම්මැට්ටම නිර්මාණය කිරීම සඳහා උචිත දැවයක් නොවේ. ප්‍රමිතියකින් යුක්ත තම්මැට්ටමක් නිර්මාණය කිරීමට නම් නිවැරදි දැව වර්ගය තෝරා ගැනීම වැදගත් ය. තම්මැට්ටම සඳහා යොදා ගන්නා වරපට තරමක් පළලින් යුක්ත අතර වාදනය කිරීමේදී වාදකයාගේ ඉණට සමාන්තරව රඳවා ගැනීම සඳහා බඳ පටියක් සවි කර ඇත. තම්මැට්ටම වාදනය පුහුණු වීමේදී ප්‍රථමයෙන්ම "කොට්ට බිස්සේ" අභ්‍යාස  නමැති සූවිශේෂී අභ්‍යාස විශේෂය පුහුණු විය යුතුය.ආගමික කටයුතු සඳහා නිරන්තරයෙන් යොදා ගනු ලබන මෙම වාද්‍ය භාණ්ඩය ප්‍රාදේශීය වෙනසකින් තොරව, ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක ම භාවිතා වේ. බෞද්ධාගමික පූජාවලදී,තේවා හේවිසි වාදනයේදී දවුල සහ හොරණෑව සමග සුසංයෝගීව වාදනය කෙරේ.

උඩැක්කිය.

දේශීය අවනද්ධ භාණ්ඩයක් වන උඩැක්කිය කුඩා බෙර විශේෂයකි. මෙය හැඩයෙන් ද වාදනය කරනු ලබන ආකාරයෙන් ද අනෙක් වාදන භාණ්ඩවලට වඩා වෙනස් ලක්ෂණ ප්‍රකට කරවයි. හින්දු ආගමික විශ්වාසයන්හි එන ශිව දෙවියන්ගේ එක් හස්තයක උඩැකියක් දක්නට ලැබේ. බලි ශාන්ති කර්මයෙහි එන ග්‍රහපන්ති ගායනාවල දැක්වෙන ආකාරයට හිරු දෙවියන්ගේ ද එක් හස්තයක උඩැකියක් වේ. උඩැක්කිය හැඳින්වීමට "සිරිවස" යන නාමය ද භාවිතා වේ. මෙම වාදන භාණ්ඩය නිර්මාණය කර ගැනීම සඳහා යොදා ගන්නේ ගංසූරිය නමැති දැව වර්ගයයි. ගංසූරියට ආදේශක වශයෙන් කොස්,ඇහැළ,කොහොඹ වැනි දැව ද යොදා ගනී.උඩැක්කියේ සම් තට්ටු දෙක එකිනෙක යා කිරීම සඳහා නියඳ කෙන්දෙන් සකස් කරගත් වරපට යොදා ගනී.

උඩැක්කිය එක් අතකින් පමණක් වාදනය කරන වාද්‍ය භාණ්ඩයකි. නමුත් වාදනයේදී වාදකයාගේ දෑතම ක්‍රියාකාරී වෙයි. මෙම වාදන භාණ්ඩයේ හඬ ඉතා මිහිරි ය. උඩැක්කිය දෙවියන්ට වඩාත් ප්‍රිය වාදන භාණ්ඩයක් ලෙසින් සලකයි. එම හේතුව නිසාවෙන් කන්නලව්,ස්තෝත්‍ර සහ තාලානුකූල ගායනාවන්හිදී උඩැක්කිය වාදනය කිරීම සිරිතකි.උඩැක්කිය භාවිතා කරමින් සිදුකරන නර්තන විශේෂයක් ද වේ. ඒවා "උඩැක්කි නැටුම්" ලෙසින් හැඳින්වේ. මෙකී නර්තනයේදී උඩැක්කිය වාදනය කරමින් නැටීම සුවිශේෂී ලක්ෂණයකි. උඩරට ප්‍රදේශයේ ප්‍රචලිත සොකරි නර්තනය සඳහා ද මෙය යොදා ගනී.

රබාන

අනුරාධපුර,පොළොන්නරුව වැනි ඓතිහාසික යුගවලදී රබාන මෙරට ජනප්‍රිය වාද්‍ය භාණ්ඩයක් ලෙසින් ප්‍රකටව පැවත ඇත. මහනුවර යුගයේ රජකළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ රාජසභාව හා සම්බන්ධව තිබූ කවිකාර මඩුවෙහි නර්තන ශිල්පීන් ද රබන් වාදනය කරමින් රජු පිනවීමට කටයුතු කර ඇත.

රබාන බොහෝ කාලයක් තිස්සේ ලාංකේය සංස්කෘතියෙහි කලා අංගයක් ලෙස යොදාගෙන ඇත. රබන් නිර්මාණයේදී , රබන් වළල්ල සඳහා බහුලව යොදාගෙන ඇත්තේ කොස් ලීයයි. විශේෂයෙන් බංකු රබාන සෑදීමේදී වට ප්‍රමාණය විශාල ගසක කඳ කොටසක් තෝරා ගැනීම සිදුකළ යුතුය. මහ රබාන නැතහොත් බංකු රබාන වට ප්‍රමාණයෙන් තරමක් විශාල නිසාම එයට යොදා ඇති හම් තට්ටුව කාලගුණික හේතු සාධක මත ප්‍රසාරණයට ලක්වෙයි. එසේ හෙයින් වාදනයට උචිත වන ආකාරයෙන් හඬ සකසා ගනු ලබන්නේ ගින්නට අල්ලා රත් කිරීමෙනි.රාත්‍රී කාලයේදී රබන් වාදනය කරන්නේ නම්,රබාන වැඩි වාර ගණනක් රත් කර ගත යුතුය.විරිදු රබාන අගල් 12 ක පමණ විෂ්කම්භයකින් යුතු වාදන භාණ්ඩයෙකි. රබන් වළල්ල ලාක්ෂා පින්තාරු ක්‍රමය අනුව වර්ණවත් කර තිබීම මෙහි විශේෂ ලක්ෂණයකි.


වාසනා වික්‍රමසිංහ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required