ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන බෝගයක් වන "තේ" මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමියා වන්නේ "ජේම්ස් ටේලර්" මහතා ය.එතුමා ශ්‍රී ලංකාවේ තේ වගා කිරීමට ප්‍රථම, වතුකරයේ තේ වගා කරන ආකාරය පිළිබඳව ඉන්දියාවේ සංචාරය කරමින් පූර්ව අධ්‍යයනයන් පවා සිදුකර ඇත. තේ වගාව ප්‍රථමයෙන් ම ආරම්භ කර ඇත්තේ පහළ හේවාහැට ප්‍රදේශයේ ය.තම බංගලාව කර්මාන්ත ශාලාවක් ලෙස භාවිතා කරමින් තේ කොළ සැකසීමේ විවිධ ක්‍රම අත්හදා බැලීමට ජේම්ස් ටේලර් කටයුතු කර ඇත.කෝපි කර්මාන්තය විනාශ වූ කාල වකවානුවේදී කෝපි වගාහිමියන් ද ජේම්ස්ගේ නායකත්වය අනුගමනය කරමින් තේ වගාවට යොමු වී ඇත.එකල තේ කර්මාන්තය මෙරට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට විය.වර්ෂ 1890 වන විට තේ අපනයනය ටෝන් 22 900 දක්වා වර්ධනය වූ අතර සිලොන් ටී සන්නාමය ද පියවරෙන් පියවර ලොව ප්‍රචලිත වන්නට විය.
මෙරට තේ, පළාත් 05ක, දිස්ත්‍රික්ක 11ක වගා කෙරෙන අතර වාර්ෂික තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 330 ක් පමණ වේ.ශ්‍රී ලංකාවේ තේ වගා කරන ප්‍රදේශ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැක. උඩරට තේ, මැදරට තේ සහ පහතරට තේ යනු එම කොටස් තුනයි. උඩරට තේ ලෙස හඳුන්වන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 1220 ට වැඩි උස් බිම් වල තේ වගා කරන ප්රදේශයි. මැදරට තේ යනු මීටර් 610 සිට මීටර් 1220 දක්වා උස් බිම් වල තේ වගා කරන ප්‍රදේශ වන අතර මීටර් 610 ට වඩා අඩු බිම්වල තේ වගා කරන ප්‍රදේශ පහතරට තේ ලෙසින් හැඳින්වේ.තේ වගාවට මිලිමීටර් 1900 සිට මිලිමීටර් 5400 දක්වා වූ වර්ෂාපතනයක් අවශ්‍ය ය. ඒ අනුව අධික වර්ෂාපතනයක් සහිත ප්‍රදේශ මීට ඉතා යෝග්‍ය වේ. තේ වගාව සාර්ථකව සිදුකර ගැනීමට ලෝම ලැටරයිට් පස සහ ජලය හොඳින් බැස යන මද බෑවුම් ප්‍රදේශ යොදා ගැනීම වැදගත් ය.
ශ්‍රී ලංකාවේ තේ වගාව වැඩිදියුණු කිරීම සඳහා පිහිටුවා ඇති ආයතන ලෙස තලවකැලේ තේ පර්යේෂණ ආයතනය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය හැඳින්විය හැක. තේ කුඩු, ක්ෂණික තේ ,තේ කැට, කෝපි තේ, කුරුඳු තේ,රන් තේ,හරිත තේ ආදී තේ ආශ්රිත නිෂ්පාදන රාශියක් අපනයනය සහ දේශීය වෙළඳපොල පදනම් කොටගෙන මෙරට සැකසේ. ලංකා තේ වැඩි වශයෙන් මිලදී ගන්නා රටවල් අතර ඉරානය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සිරියාව, ජෝර්දානය,රුසියාව එක්සත් රාජධානිය, ජපානය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් වේ. මෙරට ජනතාවට සෘජු හා වක්‍ර රැකියා උත්පාදනය කරලීම සඳහා තේ වගාවෙන් ලැබෙන්නේ සුවිශාල දායකත්වයකි.
තේ පරිභෝජනය තුළින් ලැබෙන සෞඛ්‍ය ප්රතිලාභ ද ඉතා ඉහළ ය.තේ යනු ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත පානයකි. දිනකට තේ කෝප්ප තුනක් සීනි නොදමා පානය කිරීමෙන් හෘදයාබාධ, අංශභාගය වැනි රෝග වළක්වා ගැනීමට හැකියාව ලැබේ. තවද රුධිර ගමනාගමනය මනාව සිදුවීමටත් මේද දහනයටත් තේ පානය ඉවහල් වේ. මතක ශක්තිය වැඩි කිරීමට සහ කොලෙස්ට්‍රෝල් දහනය කිරීමට ඇති හැකියාව තේ සතු තවත් ගුණාංග වේ.උපරිම සෞඛ්‍ය ප්රතිලාභ ලබාගැනීමට නම් සීනි එකතු නොකර තේ පානය කළ යුතුය.කෙසේ වෙතත් දිනකට තේ කෝප්ප තුනකට වඩා වැඩි ප්‍රමාණයක් පානය කිරීම සහ ප්‍රධාන ආහාර වේල් වලින් පසුව තේ පානය කිරීම නුසුදුසු ය.වර්තමානයේදී තේ වලට රසායනික ද්‍රව්‍ය සහ ඩයි වර්ග එකතු කිරීම ද බහුලව සිදුවන අතර එය ශරීරයට ඉතා අහිතකර ය.
ඇඟලුම් කර්මාන්තයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දෙන්නේ තේ කර්මාන්තයයි.අතීතයේ ඉතා ප්රශස්ත අන්දමින් සිදු කරගෙන පැමිණි තේ නිෂ්පාදන කටයුතු වර්තමානයේදී තරමක් අඩපණ වී ඇති අයුරු දක්නට ලැබේ. ශාකයට ප්‍රමාණවත් තරමින් පොහොර නොලැබීම,නිසි ප්‍රමිතියෙන් තොරව තේ දළු නෙළීම , අවිධිමත් අයුරින් කර්මාන්තශාලා වෙත තේ දළු ප්‍රවාහනය කිරීම සහ අතරමැදියන් විසින් සිදුකරන අක්‍රමිකතා වැනි ක්‍රියාවන් නිසා සමස්ත නිෂ්පාදනයේ ම සාර්ථකත්වය බිඳ වැටෙමින් පවතී.මේ අතර කසළ තේ කලවම් කිරීමේ ජාවාරම් ද ක්‍රියාත්මක වේ. එලෙස වැවිලිකරුවා සහ වතු හිමියා විසින් සිදුකරන අක්‍රමිකතා ලෝක මට්ටමින් සිලොන් ටී සන්නාමය අපකීර්තියට ලක්වීමට හේතු වී ඇත. සුපුරුදු තේ රසය නොලැබෙන නිසාවෙන් ආනයන කටයුතු අඩු කිරීමට සිරියාව, අසර්බයිජානය, ඉරානය, තුර්කිය වැනි රටවල් කටයුතු කර ඇත.මෙම තත්ත්වය හමුවේ ගුණාත්මක සහ නියම රසයෙන් යුක්ත තේ හා තේ ආශ්රිත නිෂ්පාදන ලොවට දායාද කරලීම තරමක් අපහසු වී ඇත.
වාසනා වික්‍රමසිංහ.