සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32ක ජයක් හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ අවසන් වූ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 241ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය පිතිකරුවන්ට පන්දුවාර 42.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 208ක් පමණයි.
ඉන්දියාව මෙම පරාජය ලැබුවේ ඔවුන් පළමු කඩුල්ලට පන්දුවාර 13.3කදී ලකුණු 97ක ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාගෙන සිටියදී වීමත් විශේෂත්වයක්.
ඉන්දීය ඉනිම ආරම්භ කළ නායක රෝහිත් ශර්මා ප්‍රහාරාත්මක ලකුණු 64ක් රැස්කිරීමට සමත් වුණා.
පන්දු 44කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හයේ පහර 04ක් හා හතරේ පහර 05ක් ඇතුළත්.
ඊට අමතරව අක්සාර් පටෙල් ලකුණු 44ක්ද, ශුබ්මන් ගිල් ලකුණු 35ක් රැස්කළද එය ඉන්දීය ජයට ප්‍රමාණවත් වූයේ නැහැ.
ඉන්දීය ඉනිම මෙල්ල කිරීමේ සම්පූර්ණ බර කරට ගත් ජෙෆ්රි වැන්ඩර්සේ පළමු කඩුලු 06ම දවාගනිමින් තරගයේ ජය ශ්‍රී ලංකාව දෙසට රැගෙන එනු ලැබුවා.
ලකුණු 33කට කඩුලු 06ක් දවාගනිමින් වැන්ඩර්සේ යැවූ මෙම සුපිරි පන්දු යැවීම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඉන්දියාවට එරෙහිව දඟ පන්දු යවන්නෙකු දැක්වූ තෙවැනි හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා අතරටද එක්වනවා.
වැන්ඩර්සේට අමතරව නායක චරිත් අසලංකද ශ්‍රී ලංකාවට අවැසිවම තිබූ කඩුලු 03ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වුණා.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 09ක් දැවී ලකුණු 240ක් රැස්කර ගත්තා.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පන්දු 35කින් ලකුණු 39ක් රැස්කිරීමට සමත් වුණා.
ඊට අමතරව කමිඳු මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 40 බැගින් රැස්කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් රැස්කළා.
ඉන්දියාව වෙනුවෙන් වොෂින්ටන් සුන්දර් ලකුණු 30කට කඩුලු 03ක් හා කුල්දීප් යාදව් ලකුණු 33කට කඩුලු 02ක් දවාගනිමින් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූවා.
මෙම ජයත් සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගනු ලැබුවා.
දෙරට අතර පළමු තරගය ලකුණු සමව අවසන් වුණා.